විටක ගැහැණියක් ,විටෙක පිරිමියෙක් බදු ඔබ අපට සම්පතක් !

0

ශ‍්‍රී ලංකා කුරුඳු, ලෝකයේ ඇති අග‍්‍රගන්‍යම කුරුඳු ලෙස කිසිදු සැකයකින් තොරව සඳහන් කළ හැකි අතර, වැඩිම ප‍්‍රමාණයක් ලෝක වෙළඳ පොළට සත්‍ය කුරුඳු සපයනු ලබන්නේ ශ‍්‍රී ලංකාව විසිනි. ශ‍්‍රී ලංකාවට ආවේණික වූ ආර්ථිකව වැදගත් බෝග වර්ග වලින් එකක් ලෙස කුරුඳු හැඳින්විය හැකිය.

මීට වසර 500 කට පෙර කොලම්බස් නාවිකයා විසින් ලෝකයේ නැගෙනහිර දෙසට නව මුහුදු මාර්ගයක් සෙවීමෙහි නිරත වූ අතර, ඔහුට අවශ්‍ය වූ ප‍්‍රධානතම කුළුබඩු බෝගය වූයේ කුරුඳුය. නමුත් එය සඵල නොවූයේ ඔහුට එම මුහුදු මාර්ගය සොයා ගැනීමට නොහැකි වූ නිසාය. පෘතුග‍්‍රීසීන් ලෝකයේ නැගෙනහිර දෙසට මුහුදු මාර්ගය සොයා ගැනීමට සමත් වූ අතර ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට එක් ප‍්‍රධාන හේතුවක් වූයේ කුරුඳු බෝගයයි. පසුව එය ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුධයක් දක්වා වර්ධනය වුනි.

16 වෙනි ශත වර්ෂයේදී ශ‍්‍රී ලංකාව විසින් අත්සන් කිරීමට යෙදුණු පළමු අන්තර්ජාතික කෘෂීකර්මය පිළිබඳ වෙළෙඳ ගිවිසුමට මුල් වූයේ ද කුරුඳු බෝගයයි. මෙම ගිවිසුමට අනුව එවකට කෝට්ටේ රාජධානියේ රජකම් කළ රජු විසින් කුරුඳු රාත්තල් 2,50,000 ක් පෘතුග‍්‍රීසීන්ට සැපයිය යුතු වූ අතර, ඒ එම රාජධානිය පරසතුරු ආක‍්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමට පෘතුග‍්‍රීසි ආණ්ඩුකාරවරයාට සිදු විය. අවසානයේ අරාබි ජාතිකයන් පරදමින් කුරුඳු සැපයීමේ ජාත්‍යන්තර ඒකාධිකාරය ගොඩ නැංවීමට පෘතුගී‍්‍රසීන්ට හැකි විය. වෙනත් යුරෝපා ජාතීන් ද මේ සම්බන්ධ උනන්දුවක් දැක්වුවද, ක‍්‍රි.ව. 1636 දී එම වෙළඳ ඒකාධිකාරය ලන්දේසීන් අතට පත් විය. ක‍්‍රි.ව.1796 දී ඉංග‍්‍රීසි ජාතිකයින් මෙම වෙළෙඳ ඒකාධිකාරය තමන් සතු කර ගනිමින් එය 1833 දක්වා පවත්වා ගෙන යන ලදී. පසුව පෞද්ගලික වෙළඳුන් ද මෙම වෙළඳාමට එක් විය. ශ‍්‍රී ලංකාව තපවමත් ලොව අනර්ඝතම කුරුඳු සපයන්නා ලෙස එම වෙළෙඳ ඒකාධිකාරිය පවත්වා ගෙන එනු ලබයි.

කුරුඳු ශාකය සදාහරිත බහුවාර්ෂික බෝගයකි. Cinnamomum verum preslලෝරේසියේ කුලයට සහ සිනමෝමම් ඝණයට අයත් ශ‍්‍රී ලංකාවට ආවේණික බෝගයකි.

වාණිජ කුරුඳු ලෙස ජනප‍්‍රියව ඇති ප‍්‍රධාන කුරුඳු වර්ග දෙක වනුයේ සත්‍ය කුරුඳු Ciylon Cinnamom සහ කැසියා Cassia කුරුඳුය. කැසියා අයත් වන්නේ ද සත්‍ය කුරුඳු අයත් වන කුලයට හා ඝණයටම වේ. කැසියා ප‍්‍රධාන වශයෙන් නැගෙනහිර ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමය යන රටවල්වල වගා කෙරේ. වාණිජව වගා කරන කැසියා කුරුඳු වර්ග කිහිපයකි. ඒවා නම් ඉන්දුනීසියා කැසියා Cinnamomum brumannii Nees චීන කැසියා Cinnamomum aromaticum Nees සහ වියට්නාම කැසියා Cinnamomum ioureirii Ness ය. නමුත් මෙම කැසියා කුරුඳු වර්ගවල ගුණාත්මය සත්‍ය කුරුඳු වලට වඩා බෙහෙවින් අඩුය.

කුරුඳු සම්භවය වූයේ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බවට සාක්ෂි ඇත. කුරුඳු වගාවන් දැනටමත් මහනුවර, මාතලේ, බෙලිහුල් ඔය, හපුතලේ සහ සිහරාජ අඩවියේ ඇතැම් ස්ථානවල හමුවේ. කුරුඳු කැලෑ ගසක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 300-350 දක්වා උෂ්ණත්වවල දක්නට ලැබේ. වර්තමානයේ කුරුඳු වගාව කළුතර සහ බෙලිඅත්ත දක්වා ඇති මුහුදු තීරයේ බෙහෙවින් පැතිරී ඇති අතර, එම ප‍්‍රදේශයේ සිට රට අභ්‍යන්තරයට රත්නපුර දිස්ත‍්‍රික්කය දක්වා ව්‍යාප්ත වී ඇත.

කුරුඳු පොත්තේ ගුණාත්මය රඳා පවතින්නේ, ජානමය කරුණු, පස සහ දේශගුණික සාධක මතය. ඉතා ඉහළ ගුණාත්මයෙන් යුතු කුරුඳු නිපදවන්නේ සුදු පැහැති වැලි පසෙහි ය. මෙය මීගමුව ප‍්‍රදේශයේ ඇති සුදු වැලි සහිත පසට සමානය.

කුරුඳු හෙවත් සිනමෝමේ වෙරම් Cinnamomum verum presl අතු බෙදුණු, දුඹුරු පැහැති කඳන් ඇති, සදාහරිත, මුදුන් මුල් පද්ධතියක් සහිත, බහු වර්ෂික ශාකයකි. කුරුඳු පත‍්‍ර එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව කඳට සවි වී ඇති අතර, පත‍්‍රවල මුල සිට අග දක්වා විහිදෙන නාරටි 3 ක් දක්නට ඇත. උත්තර ඩිම්බ කෝෂය ඒක කෝෂ්ටීය වන අතර, එක් ඩිමිබයක් පමණක් අඩංගු වේ. කුරුඳු පත‍්‍රයේ මතුපිට දිලිසෙන සුළු වන අතර, ඉටිමය ස්වභාවයකින් යුක්තය. කුරුඳු පොත්ත බොහෝ විට සිනිඳු වන අතර ආවේණික සුවඳක් ද ඇත.

කුරුඳු මල් ද්වි ලිංගිකය. එක් මලක කුඩා ක‍්‍රීම් පැහැති සරු රේණු 9ක් සහ වඳ රේණු 3ක් ඇත. මල් වරෙක ස්ත‍්‍රී පුෂ්පයක් ලෙසත් වරෙක පිරිමි පුෂ්පයක් ලෙසත් ක‍්‍රියාකාරී වේ. සාමාන්‍යයෙන් කලංකය පරාගධානීවලට කලින් පර්ණත වන බැවින්, පරපරාගණයට සුදුසු ආකාරයට අනුවර්තනය වී ඇත.

ස්වාභාවික තත්වයන් යටතේ කුරුඳු ගස මීටර් 10-15 දක්වා උසකට සහ කඳ සෙ.මී. 30-35 දක්වා වටප‍්‍රමාණයකට වර්ධනය වේ. කුරුඳු ගස වරින් වර අස්වනු සඳහා කපා ගැනීමෙන් මීටර් 2-2.5 දක්වා උස ප‍්‍රමාණයකින් යුක්ත, කඳ පාමුලින් හටගත් රිකිළි කීපයක් සහිත පඳුරක් ආකාරයට හැඩ ගස්සවා ගැනේ.

කුරුදු තලා දිවි ගෙවන්නෝ මේ ආකාරයට තැලෙමන් ජිවත්වේ. ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප‍්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්තයක් ද පවතී.

මෙහි වෙසෙන නොකම්මැළි ගැමියෝ හරි හරියට කුරුඳු තළති. කුරුඳු වතු හිමියෝ සේවකයන් ලවා කුරුඳු තළවති. ඇතැම් ගැමියෝ වසරකට හෝ වසර ගණනාවකට කුරුඳු වතු බදු ගෙන එකී නිෂ්පාදනයෙහි නිරත වෙති. කුරුඳු පැළ සිටුවා වසර දෙකක්, තුනක් අතර කාලය වන විට කුරුඳු ගසේ අතු කපාගත හැකියි. ඉන්පසු ඒවා නිෂ්පාදන ස්ථානයට රැගෙන එයි. කුරුඳු තැළීම අරඹන්නේ එතැන් සිටය. එහිදී මුලින්ම කුරුඳු කොළ ඉවත් කර කෝටුව පමණක් ලබා ගනී.

එහි පිට පොත්ත ඉවත් කරනු ලබන්නේ ගානකොකැත්තෙනි. ඉවත ලූ පිට පොතු තෙල් හිඳීමට යොදාගත හැකියි. එසේම එය වගාවන් සඳහා හොඳ පොහොරක් ද වෙයි. අනතුරුව පිත්තල ලීයක ආධාරයෙන් ලීය හොඳින් මැද ගනී. එහිදී ඇඟිලි කොපුවක් ඇඟිල්ලක රඳවා ගන්නේ තුවාලයක් හෝ සීරීමක් සිදු නොවන්නටය.

ලීය මැදීමත් සමඟින් එය මෘදු බවට පත්වේ. අනතුරුව පිහියක ආධාරයෙන් ලීය පළනු ලබයි. එහිදී ලීයේ ගැටි ආශි‍්‍රත ප‍්‍රදේශයන් දෙකක් ගෙන සීමා ලකුණු කර කැපුම සිදු කරයි. එය වඩාත් නිර්මාණශීලීව, ක්ෂණිකව කළ හැක්කේ හුරුපුරුදු අයෙකුට පමණකි. ලීයේ අරටුව දක්වාම ප‍්‍රදේශයෙන් මේ ආකාරයට පැළුම් කර පිට පොතු ලබා ගනියි.

අනතුරුව පිට පොතු සියල්ලම මඳ පවනේ සතියක් පමණ වියළා ගත යුතු වේ. ඒ කාලය තුළ දී වරින් වර වතුර ඉසීම ද සිදු කරයි. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එකිනෙක හන්දි කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවය.එහිදී හන්දි කිරීම සිදුකරනු ලබන්නේ කිසියම් මිම්මකට අනුවය. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එක්කර කුරුඳු කෝටුව සකසා ගැනීමේදී අදාළ උස ප‍්‍රමාණය මැන ගනී. ඒ පෙති කෝට්ටෙහි ආධාරයෙනි. මෙය ක‍්‍රමවත්ව, කඩිනමින් සිදු කර ගැනීමට නම් දෑතේ හුරුව අත්‍යවශ්‍යමය. එසේ සකසාගත් කුරුඳු කෝටුව කුරුඳු වැලේ දමා වියළනු ලබයි.

දවසක් පමණ ගත වන විට කුරුඳු කෝටුවෙහි බඩ ඇඹරීම සිදු කරනු ලබයි. බඩ ඇඹරීම යනු තවදුරටත් කුරුඳු කෝටුව පිරවීම ශක්තිමත් කිරීමකි. අනතුරුව යළිත් සකසාගත් කුරුඳු කෝටු, කුරුඳු වැලේ තැන්පත් කරයි. කුරුඳු කෝටු මිටි බැඳීම සිදුකරනු ලබන්නේ ඉන්පසුවය. හොඳින් මඳ පවනේ වියළා ගත් කුරුඳු කෝටු එකිනෙක සම්බන්ධ කරමින් නොකැඩෙන සේ මිටි බඳිනු ලැබේ. කුරුඳු නිෂ්පාදන මිලදී ගන්නා වෙළෙඳ පොළට එය යැවෙනුයේ ඉන් පසුවය. කුරුඳු තළන්නෝ කය වෙහෙසා වැඩ කරති. ඉන් තම අත මිට සරිකර ගනිති. ඔවුන්ගේ දවස ගෙවෙන්නේ ද කුරුඳු මිටි අතරේය. කෙතරම් කාර්යබහුල වුවද ඉන් මිදෙන්නට ද ඔවුහු අකැමතිය. ඒ එය ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවම වන හෙයිනි. පවුල් පිටන්න නිරතවන මෙම රස්සාව පියාමවගෙන් උරමුවන රැකියාවකි.

නිමල් අල්ගෙවත්ත

2973