ලස්සන ගැන හිතන ඔබ මේ ගැනත් හිතන්න

0

පාදවල නහර ගැටගැසීම වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන රෝගී තත්ත්වයකි. එය හඳුන්වන්නේ Varicose veins නමිනි. පිරිමින්ට මෙම රෝගී තත්ත්වය ඇති නොවෙනවා නොවේ. වර්තමානයේදී කාන්තාවන්ගෙන් සියයට 30 – 40 පමණ පිරිසක් ද පිරිමින්ගෙන් සියයට 10 – 20 පමණ පිරිසක් ද පාදවල නහර ගැටගැසීමේ රෝගයට මුහුණ පා සිටිති.

මේ රෝගය ඇතිවන්නේ පාදවල පමණක් නොවේ. දෑත්වල ද ඇතිවීමේ හැකියාව ඇත.රෝගයේ පළමු බලපෑම එල්ලවන්නේ මනසට ය. එසේ වන්නේ රෝගය ඇතිවීමෙන් පසුව පාදවල සහ දෑත්වල ඇතිවන අවලස්සන බව නිසා ය. මෙම රෝගයේ සංකූලතාව ඇතිවන්නේ රෝගය ඇති වී කලක් ගත වූ පසුව ය.එතෙක් රෝගියාට වැඩි අපහසුතාවක් දැනෙන්නේ නැත.

‘නහර ගැට ගැසීම’ ලෙස මේ රෝගය හැඳින්වූව ද මෙහිදී නහර ගැට ගැසීමක් සිදුනොවේ. මෙහිදී සිදුවන්නේ පාදවල නහර (ශිරා) ඉදිමී, නිල් පැහැ වී එම ශිරා හැකිළී විකෘති වීම ය. රෝගයේ මුල් අවස්ථාවේදී එම රෝග ලක්ෂණය පෙන්වන්නේ පාදයේ දණහිසෙන් පහළ කොටසේ ය. රෝගය උග්‍රවන විට එම තත්ත්වය පාදයේ ඉහළ කොටස දක්වා පැතිරී යයි.

මේ රෝගයට ගොදුරු වූවන්ට දැනෙන පළමු රෝග ලක්ෂණය වන්නේ පාදයේ වළලුකර අසළ කොටස ඉදිමීම ය. එය බොහෝ විට සිදුවන්නේ සවස් කාලයේ දී ය. දිනය පුරා රැකියාවක නිරත වී සවසට නිවසට ගිය විට පාදයේ වළලුකර ආශ්‍රිත ප්‍රදේශය ඉදිමී ඇති බව පෙනී යනු ඇති.

එසේ ම සවස් වන විට පාදවල බර ස්වභාවයක් දැනීමට පටන් ගැනීම ද රෝගයේ මුල් අවස්ථාවේ ලක්ෂණයකි. මෙහිදී පාද එක ඉරියව්වක තබාගෙන සිටිය නොහැකි ආකාරයේ අපහසුතාවක් ද ඇතිවේ. එමෙන් ම පාදය ආශ්‍රිත වළලුකර ප්‍රදේශය කැසීමට පටන්ගනී. මෙය දදයක ආකාරයෙන් කසන පුද්ගලයින් ද දැකගත හැකි ය. මෙම සෑම රෝග ලක්ෂණයක් ම උදෑසනට වඩා දහවල් වනවිට උග්‍ර අතට හැරේ.

එසේ ම පාදයේ පහළ කෙළවර සමේ පැහැයේ වෙනසක් ඇතිවීමට ද පටන් ගනී. එම ප්‍රදේශයේ සම මතුපිට තිත් තිත් ස්වභාවයක් ද ඇතිවේ. එසේ නැතිනම් පාදයේ ඉතිරි ප්‍රදේශයේ සමේ පැහැයට වඩා තද පැහැයකට හැරීමට පටන්ගනී. එසේ ම වළලුකර ආශ්‍රිත සම ගනවීමට ද පටන්ගනී. රෝගයට ගොදුරු වූ අයකුගේ පාදයේ සම පාදයේ අස්ථියට ඇලෙන ස්වභාවයකට පත්වීම ද රෝග ලක්ෂණයකි.

තරමක බිය උපදවන සුලු රෝග ලක්ෂණ ද මේ රෝගයේ දී පෙන්නුම් කෙරේ. ඒ පාදය කැසීමෙන් පසුව හෝ නොදැනුවත්වම හෝ පාදයෙන් රුධිරය ගැලීමට පටන්ගැනීම ය. එය හදිසියේ සිදුවන්නකි. මෙහිදී රුධිරය ගැලීමක් සිදුවුව ද වේදනාවක් නොදැනේ. බොහෝ විට මෙම තත්ත්වයට පත් වූ රෝගීන්ගේ පාදයෙන් රුධිරය ගලනු දකින්නේ අසල සිටින අයකු විය හැකි ය.

පාදවල නහර ගැට ගැසීමේ රෝගය, රුධිරය ගලායාමේ තත්ත්වය දක්වා වර්ධනය වූ පසුව එය නොදැනුවත්වම ඇතැම් විට භයානක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි ය. මෙම රෝගයට ගොදුරු නොවී සිටීමට මෙන් ම මෙයින් මිදීම සඳහා ද රෝගය ඇතිවීමට හේතුවන කරුණු හඳුනා ගැනීම වැදගත් ය.

අපගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක් ම අවයවයක් ම නිරෝගී ව පවත්වාගෙන යාමට රුධිරය අවශ්‍යය. හෘදයේ සිට ශරීරය පුරා රුධිරය ගෙන යන්නේ ධමනි මඟින්ය.එසේ ශරීරය පුරා ගමන් කළ රුධිරය හෘදය වෙත නැවත ගෙන එන නාළ හඳුන්වන්නේ ශිරා නමිනි.

මෙම ධමනි පද්ධතියත් ශිරා පද්ධතියක් ක්‍රියා කරනු ලබන්නේ වෙන වෙනම ය. එම නාළ පද්ධති දෙකට අමතරව වසා නාළ නමින් තවත් කුඩා රුධිර නාළ පද්ධතියක් ද ඇත. නහර ගැට ගැසීම රෝගය ඇති වන්නේ ශිරා පද්ධතිය තුළ ය. මෙම තත්ත්වය බහුලව ඇතිවන්නේ පාදවල ය.

පාදවල ශිරා පද්ධති දෙකක් ඇත.ශරීරයේ මතුපිටින් තිබෙන ශිරා පද්ධතිය සහ ශරීරයේ ඇතුළතින් තිබෙන ශිරා පද්ධතිය යනුවෙනි. නහර ගැටගැසීමේ රෝගය ඇතිවන්නේ මතුපිටින් තිබෙන ශිරා පද්ධතිය තුළ ය.

නහර ගැටගැසීමේ රෝගය ඇති වූ විට මතුපිට ශිරා පද්ධතිය මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන කාර්යය වෙනස්වේ. එනම් අපිරිසුදු රුධිරය හෘදය වෙත ගමන් කිරීමේ කාර්යය වෙනස් වේ. එම ශිරා තුළ පිහිටි කපාට අක්‍රියවීම මෙයට හේතු වය. අප සිටගෙන සිටින අවස්ථාවක වුව ද අපගේ පාදවල තිබෙන අපිරිසුදු රුධිරය ශරීරයේ ඉහළින් තිබෙන හෘදය වෙත ගමන් කරයි.

ඒ සඳහා උපකාරී වන්නේ ශිරා තුළ ඇති කපාට සතු අපූරු ක්‍රියාකාරිත්වය ය. පාදවල මස් පිඬු තෙරපීම නිසා ශිරා තුළ ඇති කපාට ඉහළට ඇරී අපිරිසුදු රුධිරය ඉහළට ගමන් කරයි.සාමාන්‍යයෙන් එම රුධිරය පහළට ගමන් කරන්නේ නැත. ඒ අපිරිසුදු රුධිරය පහළින් ඉහළට පොම්ප වූ විට ශිරා තුළ ඇති කපාට වැසී රුධිරය පහළට ගමන් කිරීම වැළකෙන නිසාය. ශිරා තුළ ඇති කපාටවල ක්‍රියාකාරිත්වය අඩපණ වූ විට පාදවල සිට ඉහළට ගමන් කරන රුධිරය නැවත පහළට ගමන් කරයි. එහි ප්‍රතිඵලය වන්නේ ශිරා තුළ අපිරිසුදු රුධිරය එක් රැස්වීම ය… රුධිරය එක් රැස්වූවිට එම ශිරා දික් වී ඇදවී විකෘතිවේ. එවිට එම ශිරා සම තුළින් පිටතට පෙනෙන්නේ ගැට ගැසී ඇති ආකාරයකට ය.

එසේ ශිරා විකෘති වීමෙන් ශිරාවල නියමිත කාර්ය වන හෘදය වෙත රුධිරය ගමන් කිරීම සිදුනොවේ. එහෙත් ඇතුළතින් ඇති ශිරා මගින් පාදවල තිබෙන අපිරිසුදු රුධිරය හෘදය වෙත ගෙන යනු ලබයි. යම් හෙයකින් යමෙකුගේ ඇතුළින් ඇති ශිරා වල ද කිසියම් ගැටලුවක් මතු වුවහොත් රෝගියා පත් වන්නේ ඉතා අසීරු තත්ත්වයකට ය.

නහර ගැටගැසීමේ රෝගයට යමෙකු ගොදුරු වූ විට ශිරා තුළ පීඩනය වැඩිවේ. ඇතැම් විට එය රසදිය මිලිමීටර් 200 ක අගයටත් වඩා වැඩිවේ. පාදවල විකෘති වූ නහර ඇතිවන්නේ එම පීඩනය නිසා ය. රෝගය උත්සන්න වූ විට නොදැනුවත්වම පාදවලින් රුධිරය පිටතට ගලන්නේ ද එම ශිරා තුළ පීඩනය වැඩි වී රුධිර සෛල, තරල පිටතට පැමිණීම නිසා ය.

රෝගයට ගොදුරු වූ විට පාදවල ඇති ශිරා තුළ අපිරිසුදු රුධිරය පිරී තිබීම නිසා ඒවාට පිරිසුදු රුධිරය ඒම වළකී. එම ශිරා සහිත ප්‍රදේශයේ සම කළු පැහැ ගැන්වෙන්නේ ඒ නිසාය.

රෝගය ඇති අයකුගේ ශරීරයේ තුවාලයක් ඇති වූ විට එම තුවාලය දිනක් හෝ දෙකක් ගතවන විට විශාල වේ. එහෙත් නිසි ප්‍රතිකාර කිරීමෙන් එම තුවාලය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකිය. නහර ගැටගැසීමේ රෝගය ඇතිවූ විට සුවවෙවී නැවත නැවත ඇතිවන තුවාල සහිතව වෛද්‍යවරයා වෙත රෝගීන් පැමිණෙන්නේ මේ නිසාය.

ශිරා තුළ තිබෙන කපාට අක්‍රිය වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ එම කපාට මත අධික පීඩනයක් ඇතිවීමය.ඉහතින් සඳහන් කලාක් මෙන් කාන්තාවන් අතර මෙම රෝගය බහුල අතර ඒ අතරින්ද දරුවන් ලද මවුවරු අතර මේ රෝගය බහුල බව පෙනී යයි. දරුවා මවුකුස තුළ සිටින කාලයේදී දරුවාගේ හිස මඟින් විශාල පීඩනයක් මවගේ ශ්‍රෝණි ප්‍රදේශයේ තිබෙන ශිරා මත ඇති කරයි.

එවිට ගර්භනී කාන්තාවගේ පාදවල තිබෙන රුධිර නාලවල පීඩනය ඉතා වැඩිවේ. ගර්භනී කාන්තාවන්ගේ පාද ඉදිමෙන්නේ ඒ නිසාය. ගර්භනී සමයේදී ඇතිවන එම තත්ත්වය පසුකාලීණව නහර ගැටගැසීමේ රෝගය ඇතිවීමට බලපෑ හැකිය.

ඉහත කාරණයට අමතරව ශිරා තුළට විෂබීජ ඇතුළුවීම නිසා ද ශිරාවල කපාට අක්‍රිය වීමට හේතුවේ’ එම ප්‍රධාන හේතු දෙකට අමතරව පාදවල නහර ගැටගැසීමේ රෝගය ඇතිවීමට පාරම්පරික බලපෑම ද හේතුවන බව පැහැදිලිය.

පාදවල නහර ගැට ගැසීම යම් තරමක භයානක රෝග තත්ත්වයක් වුවද නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගයෙන් මිදීමේ හැකියාව ඇත. ප්‍රතිකාර තීරණය වන්නේ රෝගයේ තත්ත්වය අනුවය. මේ රෝගයට වැඩියෙන්ම ගොදුරු වන්නේ දවසේ වැඩිම වේලාවක් එකම ඉරියව්වෙන් ගත කරන උදවියය. එම ඉරියව්ව සිටගෙන හෝ වාඩිවී සිටින ඉරියව්වක් විය හැකිය.

රෝගයෙන් වැළකී සිටීමට ඇති හොඳම ක්‍රමය වන්නේ එකම ඉරියව්වකින් පැය ගණනක් එක දිගට ගත නොකිරීමය. වඩාත්ම සුදුසු වන්නේ පැයකට පමණ පසුව විනාඩි කීපයක් ඉරියව්ව වෙනස් කිරීමය.

පාද ඉදිමී ඇත්නම් වඩාත්ම සුදුසු වන්නේ රාත්‍රියේදී එම පාද ඉහළින් තබාගෙන සිටීමය. රෝගය ඇතිවූ මුල් අවස්ථාවේදී වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ පාදයට මේස් එකක් පැලඳ සිටින ලෙසටය. එය තරමක් අසීරු වුවද සාර්ථක ප්‍රතිකර්මයකි. එසේ නැතිනම් බැන්ඩේජ් පටියකින් පාදය වෙළීමට උපදෙස් දෙනු ලැබේ. බැන්ඩේජ් එක පැලඳිය යුත්තේ දහවල් කාලයේදීය.

රාත්‍රී කාලයේදී පමණක් පැලඳීමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. එම බැන්ඩේජය පැලඳිය යුත්තේ වෛද්‍ය උපදෙස් සහ නිර්දේශය මත පමණි. එසේම එය පැලඳීම ඉතාම නිවැරැදිව කළ යුතුය. එසේ නොවුණහොත් අහිතකර ප්‍රතිඵල ඇති වීමට ඉඩ තිබේ. මේ ප්‍රතිකර්ම දෙක මඟින් රෝගය වර්ධනය වීම පාලනය කර ගත හැකිය. එහෙත් එමඟින් රෝගය සුව නොවේ. මෙහිදී වඩාත්ම සුදුසු වන්නේ ශල්‍ය වෛද්‍ය වරයකුගේ උපදෙස් පැතීමය.

එහිදී ස්කෑන් පරීක්‍ෂාවක් මඟින් ශිරා තුළ ඇති කපාටවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කෙරේ. ශිරාවල ස්වභාවය තීරණය කළ පසුව වෛද්‍යවරයාට ප්‍රතිකාර ආරම්භ කළ හැකිය. මෙහිදී මූලිකම වෛද්‍ය ප්‍රතිකාරය වන්නේ ශිරා සඳහා එන්නතක් ලබා දීමය. එම එන්නත මඟින් ඇති වන්නේ තාවකාලික සුවයක් පමණි. රෝගය බරපතළ තත්ත්වයට පත්වී ඇත්නම් වඩාත් සුදුසු වන්නේ ශල්‍යකර්මයක් මඟින් අදාළ ශිරා සැකසීම හෝ ඉවත් කිරීමය.

එසේ ශිරා කීපයක් ඉවත් කිරීම මඟින් කිසිඳු හානියක් සිදු නොවේ. ඒ; රුධිරය ගමන් කිරීමට ඇති තරම් ශිරා අපගේ ශරීරයේ තිබෙන නිසාය. රෝගය උත්සන්න අවස්ථාවක නොපවතී නම් ලේසර් ප්‍රතිකාර මඟින් ද යම් සහනයක් බලාපොරොත්තු විය හැකි වුවද වඩාත්ම සුදුසු වන්නේ ශල්‍යකර්මයක් සිදු කිරීමය.

ශල්‍යකර්මයකින් පසුව ද ඉතාම සුළු පිරිසකට රෝගය නැවත ඇතිවීමේ හැකියාව ඇත. ඒ 5% කට වැනි ඉතාම සුළු පිරිසකටය. ශල්‍යකර්මයක් සිදුකර රෝගී වූ ශිරාවක් ඉවත් කිරීමෙන් පමණක් රෝගය ශරීරයෙන් ඉවත් වෙන්නේ නැත. රෝගයට නැවත ගොදුරු නොවී සිටීමට රෝගයට හේතුවන ජීවන රටාවේ වෙනස්කම් ද රෝගියා ඇති කර ගත යුතුය.

මෙහිදී සිදු කරනු ලබන ශල්‍යකර්මය ඉතා සුළු ශල්‍යකර්මයකි. එය උදෑසන රෝහලට පැමිණ සවස නිවසට යා හැකි ආකාරයේ ඉතා සරල ශල්‍යකර්මයකි. මෙහිදී නිර්වින්දනය කිරීමක් ද සිදු නොවේ. මෙම ශල්‍යකර්මය සිදු කිරීමෙන් පසුව දින ගණනක් එක්තැන් වී සිටීම සුදුසු නැත.

ශල්‍යකර්මයෙන් දිනකට පසුව ඇවිදීම සුදුසුය. දියවැඩියාව හෘද රෝග වැනි රෝගවලින් පෙළෙන උදවිය පාදවල නහර ගැට ගැසීමේ රෝගය සඳහා කරනු ලබන ශල්‍යකර්මයට බිය විය යුතු නොවේ. විශේෂයෙන්ම දියවැඩියා රෝගයට ගොදුරු වූවන් මෙම ශල්‍යකර්මය සිදුකර ගැනීම ඉතා වැදගත්ය.