බඩේ කනත්ත වෙනුවෙන් කන්නෙලිය බංකොලොත් නොකරනු

0

කන්නෙලිය වනාන්තරයට අරක්ගත් මස් වැද්දෝ නිසා මේ වනාන්තරය විනාශ වෙමින් පවතින බව ගැමියෝ පවසයි.මෙය වනාන්තරයේද අවසානයයි. වනාන්තරයේ සතුනගේද ගස්වැල්වල ද අවසානය වැඩි ඈතක නොවේ.ගස් කපනවාට වඩා දඩයක් කරන බවක් පෙනි යන බව අප කළ සංචාරයක දී දැක ගත හැකි වුහ. ගස් කැපීම මහා පරිමාණයෙන් සිදු වේ. දඩයක් කිරීම්ද ඉතා ඉහළය. වෙඩි තැබීම, උගුල් ඇටවීම හා විදුලි රැහැන් යෙදවීමද මේහි දී දැකිය හැකිය.

මස් ආහාරයට ගන්නා වු උදරය කනත්තක් බවට කර ගත්තාවු මිනිසුනි, ඔබට දඩමස් මගුල් ගෙදරට,දානමය පිංකමට,අර පාටියට,මේ පාටියට හෝ මිතුරු හවුල් දිනයට අවශ්‍යද? එහෙම නම් තොග හා සිල්ලරට අධිශිතකරන වල බහාලූ දඩමස් සපයා දෙන්නට ප්‍රදේශයේ සමහරක් මස් වැද්දෝ සැදී පැහැදී සිටිති.වැලිපොත, ඕපාත,වීරපාන, උඩුගම,නෙළුව,තවලම හා ඈත ගම්වලද නගරවල ද මේ සඳහා අතරමැදියන් යටතේ , දඩමස් පහසු හා ලාභයට ගත හැකිය.

මේ ජාවාරම හා ගස් ජාවාරම සිදුකරන්නේ කවුරුන්ද ?මේ යටතේ, සමහර පොලිස් නිලධාරින් සමහර දේශපාලකයන්, සමහර ව්‍යාපාරිකයන් දඩයක් කරුවන් හා කැලේ රස්සාව කරගත් පිරිසක් වීම මෙහි ඇති බියකර බව ඉහළට ඔසවන්නට හැකිව තිබේ. නින්දු තිරණ ගන්නා වු ඇත්තෝ මේ ආකාරයට වැටත් නියරත් කඩා දමනවා නම් කියයුතු කිසිවෙක් නැත. අසරණ ගම්වැසියෝ මෙහි දී අසරණය. වනය රකින නිලධාරින්ද ඒ මිනිසුන් මෙන් ගම්වාසිහු මෙන්ම අසරණය.

මෙයට පිලියම් යෙදීමට බලධාරින් වගකිව යුතුව තිබේ.මේ මහා විනාශයකට කැදවාගෙන යන මෙම වනාන්තරයේ වටිනාකම මෙසේය.

කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකිය.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ.මෙහි පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත් වන වනාන්තර ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්‍රදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් කළමනාකරණය කරනු ලබන්නේ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිශ්පාදනය සඳහා දැව ලබාගෙන ඇත්තේ මෙම ප්‍රදේශයෙන් බැවින් විශාල වන විනාශයක් එවකදී සිදුව තිබිණි. ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට ඇත.

මේ හේතුව නිසාම කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරය දක්නට නැති තරම්ය.වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තර එනම් අලූතින් වැඩුනු ශාකවලින් මෙම වනාන්තරයේ බොහෝ ප්‍රදේශ වැසී පවති.

මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා වලින්ද සමන්විත වෙයි. කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් වන අතර මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට අයත් වෙයි. මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු ලැබේ. දැනට රක්ෂිත ලෙස යෝජනාකොට ඇති දෙදියගල හා නාකියාදෙනිය වනාන්තරද එක්ව ගත්කල කන්නෙලිය,දෙදියගල, නාකියාදෙනිය සංකීර්ණය ලෙස හඳුන්වන මෙම මුළු ප්‍රදේශය හෙක්ටයාර 11,900 කින් සමන්විත වේ.

කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්‍රදේශයට සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ. ශ්‍රී ලංකාවේ වර්ෂා වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 110 කට වැඩි ප්‍රමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පළාතේ පවතින වැදගත් ගංගා පෝෂක ප්‍රදේශයක් ලෙස නම් කළ හැකිය.

කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ ජෛව විවිධත්වය අනුව අතිශයින්ම වැදගත් වනාන්තර කලාපයක් ලෙසයි. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ.

එපමණක් නොව, 2004 වසරේදී මිනිසා හා ජෛවගෝල සංචිතයක් ලෙස යුනෙස්කෝව විසින් කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය ප්‍රදේශය නම්කොට තිබේ.යුනෙස්කෝවේ ජෛවගෝල සංචිත සංකල්පයේ අරමුණ ජෛවගෝලීය වශයෙන් වැදගත් භූමි ප්‍රදේශයන් ආරක්ෂා කිරීම හා එසේ කිරීමේදී එම ප්‍රදේශවල වාසය කරන ජනතාවද මෙම සංරක්ෂණ කටයුතු සඳහා දායක කරගෙන එම ජනයාගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා කටයුතු කිරිම වැදගත් වෙනු ඇත.

මෙම සංකල්පයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය කන්නෙලිය රක්ශිතයේදී දැකගත හැකියි. කන්නලිය රක්ශිතයේ සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කරන්නේත් එහි බොහෝ රාජකාරි කටයුතු කරන්නේත් එම ප්‍රදේශයේම ගම්වැසි ජනතාවගෙන් තෝරාගත් පිරිසක් විසිනි. එමෙන්ම වනාන්තරයට හානියක් නොවන ලෙස යම් යම් නිශ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමටද ඉඩදී තිබේ.ඒ අනුව කන්නෙලිය රක්ෂිතයේ ආරක්ෂකයින් බවට එම ප්‍රදේශවාසි ජනයාම පත්වී තිබෙන්නේ රක්ශිතයෙන් ඔවුනට ආර්ථික වාසි ලැබෙන බැවින් එය ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම ඔවුනට අවබෝධවීම නිසාය.

කන්නෙලිය වනාන්තරය තුළ සිදුකරනු ලැබු පර්යේෂණ හා සත්ව සංගණන වලට අනුව ශාක ,පඳුරු හා පැලැටි වර්ග 301 හදුනාගෙන ඇති අතර එයින 52% ක ප්‍රමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ 26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

වනාන්තරය තුළ ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල, හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි. වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි විශේෂ 122ට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි විශේෂ දෙකක් වන බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත හැකිය

ශ්‍රී ලංකාවට ආවේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලූව ක්ෂීරපායින් විශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුළ වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 19 කි.මෙයට ආවේණික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්‍රී ලංකාවට ආවේනික පළා පොළගාද මේ අතර වේ.

මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික මහ කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්‍ය විශේෂ 24 ක්ද වාර්තා වී ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට දන්ඩියා යන මත්ස්‍ය විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය කරයි.

කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ. රක්ෂිතය තුළ වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් 6 ක් සකසා ඇති අතර මෙම මංපෙත් කිහිපයක් ආවරණය වන පරිදි සංචාරය සැලසුම් කරගත හැකිය.

ඒ වනාන්තරයේ පිහිටි මහා ගුහාව මනහරය. අනගිමල ඇල්ල සුන්දරය.යෝධ පුස්වැල සිතට බියක් ගෙන දේ. යෝධයෙක් බදු යෝධ නවඳගස අතු පතර පැතිරී ගොස්ය. නාරංගස් ඇල්ල මිහිදුම් තිර පටයක් වැන්න. කබ්බලේ කන්ද කරත්ත කවියක මතකය අවිදි කරවයි.

kanneliya cover photo_lankanewsalert_31_08_2014