පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ …

0

‘‘ මේ ස්ත‍්‍රිය දෙස බලව. මම තා නිවසට ගොඩවැදුනෙමි, තා මා දෙපයට දිය බිඳකුදු නොහෙලීය. එහෙත් මැය මැගේ කඳුලේ මා දෙපා ගිල්වා ලීය. කේශාවලියෙන් ඒ පිසදා ලීය. තොප මා සිප නොගත්තාහුය. එහෙත් මැය මෙහි ඇතුළු වූ මොහොතේ පටන් නොනවත්වාම මගේ දෙපා මැගේ චුම්බනයට ලක් කළාය. තා මා හිස සුවඳ තෙල් නොගැල්වූයේය. එහෙත් මේ ස්ත‍්‍රිය මා දෙපා සුවඳ තෙලින් නැහැවූවාය. මැගේ අනන්ත වූ පාපයන්ගෙන් මැය නිදහස් වී යායි මා මෙහිදී ප‍්‍රකාශ කර සිටින්නේ මැය මා කෙරෙහි දැක්වූ අසීමිත ආදර සංග‍්‍රහ හේතුවෙනි. එහෙත් ආදර සංග‍්‍රහයන් මඳ වශයෙන් දක්වන්නෝ උන්ගේ පාපයන්ගෙන් මිදෙන්නේ ද මද වශයෙන් වන්නේය ’’ ( ලූක් VII 37 – 47 )

ලෝකේ තියෙන පැරණිතම වෘත්තිය මොකක්ද ? කියලා ඇහැව්වොත් ඔබ අනිවාර්්‍යයෙන්ම කියයි ගණිකා වෘත්තිය කියලා. ඔව්, ඔබ හරි. ඉහත ප‍්‍රකාශය උපුටාගෙන තිබෙන්නේ ජේසුන් වෛශ්‍යාවක් මූලික කරගෙන කරපු ප‍්‍රකාශයකින්. ජීවිතේ, ජීවත් කරවන්න කොයිතරම් වැරදි කරලා තිබුනත් ( සමාජ සම්මතයෙන් වැරදි යැයි කියන දෑ ) මිනිස්සු වෙන අපි හැමෝගේම ආත්මය ඇතුළතින් කෙතරම් පිරිසුදු ද උත්තරීතර ද කියලා දන්නේ අපේ හදවතම විතරමයි. ඇය තම ශරීරයට මිලක් නියම කරමින් ජීවිතේ ගැටගහගන්න, එහෙමත් නැත්නම් හාමතේ හඬන තමන්ගේ දරුවගේ බඩගින්දර නිවන්න අකමැත්තෙන්, පිළිකුලෙන් වුණත් නන්නාදුනන පිරිමින් එක්ක යහන්ගත වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැහැණියගේ ආත්මය හතර පෝයටම සිල් ගන්න උපාසක අම්මෙක්ගේ ආත්මයට වඩා සියදහස් ගුණයකින් ඇත්තටම සුපිරිසිදුයි.

මහා ධන කුවේරයන්ට වගේ රන් කහවනු පුද දෙන්න නැති වුණත්, කාමාතුරයන්්ගේ රිදවීම් අභියස වෙන දා ඇගේ නෙතින් ගලා හැළෙන කඳුළෙනුත්, පිරිමියෙකුගේ වියරු රාගාශාවන් හමුවේ වෙනදා ගලා හැලෙන ව්‍යාජ චුම්බනයන්ගෙනුත් තොරව, අව්‍යාජ, භක්තිවන්ත චුම්බනයන්ගෙනුත්, වෙනදා පිරිමින්ව ආකර්ශණය කරගන්න ගල්වන සුවඳ තෙලින් යේසුන්ව පුද දෙන්න තරම් ඇගේ ආත්මය ඇත්තටම නිර්මලයි.ඉතින්, ක‍්‍රිස්තූන්ගේ කාලේ විතරක් නෙමෙයි බුදුන්ගේ කාලෙත් සිරිමා වගේ වෛශ්‍යාවන් හිටියා. ඔවුනුත් බොහොම භක්තිවන්තව බුද්ධ ධර්මයට ඇහුම්කන් දුන්නා.

රංබණ්ඩා සෙනෙවිරත්න නම් වුණු නීතීඥ ගී පද රචකයාගේ ‘‘ ළඳුනේ ’’ ගීතයේ නිමිත්ත වෙන්නෙත් ඔහු තමන්ගේ දෑස් වලින්ම දකින්නක්. ඒ තමන්ගේ කය පිරිමින්ට විකුණා මුදල් උපයන ගැහැණියක් සුදු වතින් සැරසිලා දළදා සමිඳුන් පුදන්නට යන අවස්ථාවක්.

‘‘ පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ …
ළැම පමණක් ලොවට පෙනෙන – ළය නොපෙනෙන ළඳුනේ ’’

පිරිමියෙක් වරදෙහි බැඳුනත් සමාජය හමුවේ ඔහු ඇත්තටම කිසිම වැරැද්දක් නැති යහපත් චරිතයක්. ඒත්, ගැහැණියක් එක සුළු වරැුද්දක් කළොත් ඇය, මුළු මහත් සමාජයටම පිළිකුල් සහගත චරිතයක්. හැබැයි, මාවතේ ඉන්න ඒ වගේ ගැහැණියෙක් දිහා සානුකම්පිතව බලන්න ඔබ, මම මොහොතක්වත් උත්සහ කරලා තියෙනවද ? ඇය දිහා පිළිකුළෙන් බලනවා ඇරෙන්න.

‘‘ මිනිස්සු කියන්නෙ මහ අමුතු ජාතියක්. මම මේ කතා කරන්නෙ කොපකබානා වල මිනිස්සු ගැන විතරක් එහෙම නෙමෙයි. මේ දක්වාම මා ළඟට ආපු සේරම මිනිස්සු ගැන. උන්ට පුළුවන් ගහන්න. තර්ජනය කරන්න. කෑ ගහන්න. හැබැයි එක ගෑනියෙකුට පුළුවන් උන්ව බය කරල මරන්න. සමහරවිට ඒ තමුන් කසාද බැඳපු ගෑනි නොවෙන්න පුළුවන්. හැබැයි එක ගෑනියෙක් ඉන්නවා උන්ව බය කරන, ඒ වගේම උන්ගෙ ආශාවන් දමනය කරන. ඒ තමන්ගෙම අම්මා නම් වෙන්න බැහැ. ’’

මේ සඳහන තියෙන්නේ පාවුලෝ කොයියෝ ONZE MINUTOS නමින් පෘතුගීසි භාෂාවෙන් ලියපු පස්සේ කාලෙකදී ‘‘ විනාඩි එකොළහ ’’ නමින් ආනන්ද මහපටුනගේ සිංහලයට පරිවර්තනය කරපු කෘතියේයි. මෙහෙම කියන්නේ බ‍්‍රසීලයේ ඉඳන් ස්විට්සර්ලන්තයට ඇවිත් තමන්ගේ ශරීරයට මිලක් නියම කරලා සල්ලි හොයන මරියා කියන තරුණිය.

සල්ලි හොයමින් පිරිමින්ගේ අතින් අතට යන මරියානා කවදාවත් පිරිමින් එක්ක හිඳීමෙන් සතුටක් ලබන්නේ නැහැ. ඇය කරන්නේ පිරිමින් පිනවීමම පමණයි. ඒ අතරතුර මරියා සමාජශාලාවක ස්ථිර ගණිකාවක් බවට පත්වෙනවා. මේ කාලෙදී එක එක විදියේ පිරිමින් එක්ක, ඔවුන් කැමති විධික‍්‍රමත් එක්ක ඔවුන්ව සතුටු කිරීමේ ඇයටම ආවේණික රටාවක් මරියා ගොඩනගා ගන්නවා. ඒ හින්දම මරියට තියෙන ඉල්ලූම දිගින් දිගටම වැඩිවෙනවා. ඒ නිසාම අනෙක් කෙල්ලන් අතර මරිය ගැන ඊර්ෂ්‍යාවකුත් ඇති වෙනවා. ස්වපීඩා කාමුකත්වය, පරපීඩා කාමුකත්වය වගේ අදහසුත් මේ අතරේ මරියට හඳුනගන්න හැකියාව ලැබෙනවා.

අකමැත්තෙන් වුණත් තමන්ගේ ශරීරය තවකෙකුට දීලා මිලක් නියම කරත් මරිය ළඟට එන එකම පිරිමියෙකුගෙන්වත් ඇයට සතුටක් ලැබෙන්නේ නැහැ. ඇයට ඉතිරි වෙන්නේ සල්ලි පමණයි. අවසානේදී එක දවසක් උදා වෙනවා. නොසිතුව වෙලාවක ඇතිවෙන හමුවීමකින් පස්සේ ඇතිවෙන විනාඩි එකොළහක එක්වීමකින් ඇය මෙතෙක් තමන්ගේ ජීවිතයේ ලබලා තිබුණු උතුම්ම සතුට ළඟාකරගන්නේ රැුල්ෆ් හාර්ට් එක්ක ඇතිකරගත්තු හමුවීමෙන්. ජීවිතේ ප‍්‍රථම වතාවට ආදරෙන් පිරිමියෙක් එක්ක බැඳෙන්නේ මේ අවස්ථාවේදීයි.
ඒ ගැන මරියා තමන්ගේ දිනපොතේ මොහෙම ලියනවා.

‘‘ … ඔහු එහි ළඟා වුන වෙලාවටම මමත් ළඟා වුනා. ඒකට ගියේ විනාඩි එකොළහක් නෙමෙයි. අනන්ත කාලයක් … ඒක හරියට අපි අපේ ශරීරවලින් මොහොතකට මිදිල පාරාදිසයේ උයන් වතු හරහා සෙනෙහසින් හා මිතු දමින් බැඳී කල සුන්දර චාරිකාවක් .. මම ගැහැණියක් වගේම මිනිහෙක්. ඔහු මිනිහෙක් වගේම ගැහැනියෙක්. මම දන්නෙ නැහැ ඒකට කොයිතරම් වෙලාව ගියාද කියල. ඒ වුණත් හැමදේම පෙනුණේ හරිම සන්සුන් නිහඬ විදිහට යාඥාවක් වගේ. හරියටම විශ්වයත් ජීවිතයත් නමක් න ැති කාලයක් නැති ශුද්ධ වූ වස්තූන් බවට පත් වුනා වගේ .’’

මරියා තමන් හා පෙමින් බැඳුණු රැල්ෆ් ව විවාහ කරගන්න අදිටන් කරගන්නවා. ඒ මුදල් වෙනුවෙන් නෙමෙයි තමන්ගේ අවංක ආදරය වෙනුවෙන්. මේ ජීවත් වෙන ටික කාලේ ඇතුළත කොයිතරම් වැරදි කරලා තිබුනත් තමන් තමන්ගේ ජීවිතේට හදවතින්ම ආදරය කරන්න පටන්ගන්න කොට, ඒ වගේම තවත් කෙනෙක්ගේ ආදරය තමන්ට හදවතින්ම ලැබෙනකොට ආයෙමත් වතාවක් තමන්ගෙන් ඈතට ගිය ජීවිතය ලබාගන්න ඕන කියන හැඟීම හිතට එනවා. ඒ හින්දම විඳවන ජීවිතේ විඳින්න ඕන කියන හැඟීම අපේ හිතට එනවා.

මෙතෙක් කාලයක් මුදලට තමන්ගේ සිරුර විකුණපු මරියට පීඩාවක්, රැවටීමක් වෙලා තිබුණු , මුදලට විතරක් සීමාවෙලා තිබුණු පිරිමියෙක් එක්ක ලිංගිකව එක්වීම කියන කාරණය බොහොම ශුද්ධ වූ දෙයක් බවට පත්වෙනවා. මොකද මේ දෙන්නගේම හදවත් හුදු රාගයෙන් නොවෙයි ආලයෙන් බැඳිලා තිබුණු නිසා. අවසානෙදි වෛශ්‍යාවක් කියලා හංවඩු ගැහිලා හිටිය මරියට පුළුවන් වුණා ආයෙමත් තමන්ගේ ජීවිතේ හොඳ විදියට ගොඩනඟාගන්න. ඒ ජීවිතේ ගැන අලූත් බලාපොරොත්තුවකුත් එක්ක. ඇත්තටම ඇය හදවතින් උත්තරීතර කෙනෙක්.

අපි අතරේත් සියදහස් ගණන් මරියලා ඉන්නවා. එදා කළා වගේ භක්තියෙන්, ආදරයෙන් ජේසුන්ගේ පාද චුම්බනය කරන්නට, බුදුන් දකින්නට ඔවුන්ට අද අවස්ථාව නැතිවෙන්න පුළුවන්. හැබැයි, සමාජ සම්මතයට පිටින් ගිහිල්ලා ජීවිතේ වැරදි කරන ඕනම කෙනෙක්ට ඒ පව් සමා කරගෙන ආයෙමත් අලූතින් ජීවිතේ පටන්ගන්න අවස්ථාවක්, බලාපොරොත්තුවක් අනිවාර්්‍යයෙන්ම තියෙනවා. ඒ වගේම ඕනම ආගමික දර්ශනයක ඒ වැරදි නිවැරදි කරගන්න අවස්ථාවකුත් දීලා තියෙනවා.ඒ වෙනුවෙන් ඔබ ප‍්‍රමාද නැහැ. ඉතින්, ළඟ ළඟම මේ නත්තලේ ඉපදුනු දා ඉඳන් කරපු සියලූම වැරදි ආපහු වතාවක් හදාගන්න බැරි වුණත් ඔබේ ජීවිතේ කරපු එක වැරැද්දක් හරි නිවැරදි කරගන්න එකම එක අවස්ථාවක් හරි අනිවාර්්‍යයෙන්ම තියෙනබව අමතක කරන්න එපා.

වින්ධ්‍යා ගම්ලත්

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සංවාදය සදහා විවෘතයි ලියන්න –  editor@onlinefirst.lk