බොදු බල සේනාව රාජ්‍ය මාධ්‍ය වාරණයට එරෙහි වෙයි !

0

බොදු බල සේනාවට එරෙහි රාජ්‍ය මාධ්‍ය වාරණයක් පසුගිය රාජපක්ෂ කාලය තුළ පැවති බවත් එම තත්වයම මේ වන විටත් පවතින බව බොදු බල සේනා සංවිධානය පවසයි.එම සංවිධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ , “බොදු බල සේනා දේශපාලන පෙරමුණ” යනු ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සංවිධාන නොවන අතර බොදු බල සේනා සංවිධාන මගින් මතු කරනු ලබන ජාතික වශයෙන් වැදගත් වන්නා වූ කරුණු පිලිබඳ දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා,

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ .

ගරු ජනාධිපතිතුමනි,

මාතෘකාව : බොදු බල සේනාවට එරෙහි රාජ්‍ය මාධ්‍ය වාරණය.- State Media Ban on Bodu Bala Sena

වසර තුනක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල බොදු බල සේනා තරම් ප්‍රසිද්ධියට පත් වූ සංවිධානයක් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුල දැකිය නොහැකි බව සැබෑය. එහෙත් බොහෝ දෙනා නොදන්නා සත්‍යයක් නම් බොදු බල සේනාව පිලිබඳ කිසිදු ප්‍රවෘත්තියක් පල නොකරන ලෙස රාජපක්ෂ රජය සමයේ එහි සිටි බලවත් පාර්ශවයන් විසින් අදෘශමාන ලෙස කරන ලද බලපෑම්ය . අඩු වශයෙන් “බොදු බල සේනා” නමවත් සිය මාධ්‍ය වල භාවිත නොකරන ලෙස ඔවුන් වගකිවයුතු නිලධාරීන්ට බලපෑම් කරන ලදී. කෙසේ වුවත් පුද්ගලික මධ්‍යා , සමාජ ජාල මාධ්‍ය හා විශේෂයෙන් බොදු බල සේනා සතු “සමාජ ප්‍රාග්ධනය” නිසා කිසිවෙකුත් අපේක්ෂා නොකළ ප්‍රචාරයක් ලබා ගැනීමට බොදු බල සේනා සමත් විය. මෙම වාරණය පසුගිය අවුරුදු කිහිපය තුලම ක්‍රියාත්මක වූ බව විශේෂයෙන් රජය සතු රුපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය තුල සිදු වූ බව සැබෑය. අපගේ ප්‍රවෘත්ති වලින් දාහකට එකක් (1/1000) වත් පල කිරීමට මෙම මාධ්‍ය ආයතන ඉඩ නොදුන් බව මේ පිලිබඳ සමීක්ෂණයක් කල ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක.

ඉතා දක්ෂ ධර්ම කථිකයන් වූ බොදු බල සේනා හිමිවරුන්ට බණක් කීමට පවා මෙම මාධ්‍ය ඉඩ කඩ දීමට බිය වුහ. කොටින්ම කිවහොත් එම වාරණය කෙතරම් බලවත් ද කිවහොත් 2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ඔබට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට පවා ජාතික රුපවාහිනිය(SLRC), ස්වාධීන රුපවාහිනිය (ITN) ඇතුළු බොහෝ රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් බොදු බල සේනාවට ඉඩ ලබා නොදුන් තත්වයක් තිබුණි. මෙය ජාතිවාදය හා සම්බන්ද කිරීමට මෙම නිලධාරීන් උත්සහා කලද අපට හිතවත් නිලධාරීන් ප්‍රකාශ කලේ ඉහලින් ලැබෙන නියෝග මත මෙම තත්වය මතු වී ඇති බවය. මෙම වාරණය එක් සුප්‍රකට පෞද්ගලික මාධ්‍ය ආයතනයකද ක්‍රියාත්මක වන බව අපි දනිමු.

ඉහත සඳහන් නිලධාරීන් අද බලවත් ව නොසිටියද හෝ ඔවුන් මෙම ආයතන වලින් ඉවත් වී සිටියද අදටත් අදෘෂමානව ක්‍රියාත්මක වන “බොදු බල සේනා පිලිබඳ අප්‍රකාශිත රාජ්‍ය මාධ්‍ය වාරණය” රාජ්‍ය මාධ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වන බව පසුගිය මාස 4 තුල පැහැදිලි විය. කෙසේ හෝ ඔබ යටතේ වන නව රජයෙන් අප ඉල්ලා සිටින්නේ මෙම “අසාධාරණ හා අයුක්තිසහගත අප්‍රකාශිත මාධ්‍ය වාරණය” ඉවත් කිරීමට කටයුතු කරන ලෙස හා ඒ අනුව ඔබ රජයේ ජනමාධ්‍ය ඇමති වරයා හරහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රාජ්‍ය මාධ්‍ය ආයතන වල නිලධාරීන්ට දැනුවත් කොට නිවැරදි හා සාධාරණ මාධ්‍ය වාර්තාකරණයක් සඳහා අවස්ථාව ලබා දෙන පිණිස සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසය.

“බොදු බල සේනා ජාලය” හා “බොදු බල සේනා දේශපාලන පෙරමුණ” යනු ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සංවිධාන නොවන අතර බොදු බල සේනා සංවිධාන මගින් මතු කරනු ලබන ජාතික වශයෙන් වැදගත් වන්නා වූ කරුණු පිලිබඳ දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය රාජ්‍ය මාධ්‍ය ගරු කල යුතු බව අපගේ මතයයි.

ස්තුතියි,

තෙරුවන් සරණයි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී

බොදු බල සේනා