අල්ලස් කොමිසමට අවුලක් නෑ

0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ඉවත් වීම හේතුවෙන් කොමිසමේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදුනොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසනවා. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන කීර්ති විමලචන්ද්‍ර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ භාර දීමත් සමග මේ අර්බුදකාරී තත්ත්වය හට ගත්තා.

එම ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (15) කොමිසම වෙත ලැබුණු බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සනාථ කළා. කෙසේ වෙතත්, ඔහු ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වන්නේ නැහැ.

1994 වසරේ අංක 19 දරණ පනතෙන් පිහිටුවන ලද කොමිෂන් සභාවේ වැඩකටයුතු පවත්වාගෙන යාමට නම් සාමාජිකයන් 3 දෙනෙකුගෙන් එය සමන්විත විය යුතු අතර ඒ සඳහා සාමාජිකයන් දෙදෙනෙකු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරයන් විය යුතුයි. අනෙක් සමාජිකයා අපරාධ විමර්ශනයට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පුළුල් පළපුරුද්දක් ඇති අයෙකු විය යුතුයි. ඒ අනුව මෙතෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි, හිටපු පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න සහ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු කීර්ති විමලචන්ද්‍ර කටයුතු කළා.

වැඩි දුරටත් අදහස් දක්වන ජෙනරාල්වරිය පවසන්නේ කොමිසමට අදාළ පනතේ දැක්වෙන පරිදි එහි දෙවන වගන්තියේ 6 වන උප වගන්තියට සහ 8 වන උප වගන්තියට අනුව එක් කොමසාරිස්වරයෙකුට වුව ද එහි කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.