අපිට අපේ ඉඩම් ඕනෑ

0

මහත්තයෝ මේ සේරම පටන් ගත්තේ යුද්ධය ඉවර වුණාට පස්සේ. යුද්ධ කාලේ මෙහෙ හිටියේ පොලිසියයි එස්ටීඑෆ් එකයි විතරයි. දැන් පානම වටකරගෙන හමුදා කෑම්ප් ගහලා. අපේ මිනිස්සු 1965 ඉඳලා වගා කළ ඉඩම් සේරම අක්කර 1200ක් විතර හමුදාවට අරගෙන. යුද්ධෙන් පස්සේ මේ සේරම එයාලටනේ අයිතියි කියලා කියන්නේ. යුද්ධ කාලේ අපිට තිබුණේ බය විතරයි. දැන් බය නැතිවෙලා අනික් තිබුණ හැම දෙයක්ම හොරු අරගෙන ගිහිල්ලා.’ මේ කතාවට මේ වගේ ඇරඹුමක් දුන්නේ පානම ශ‍්‍රී චන්ද්‍රරතන හාමුදුරුවෝ. හාමුදුරුවෝ තමයි පානම සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති.

බොහොම දෙනෙක් යුද්ධ කාලයේ කිව්වේ මේ යුද්ධය අපේ හමුදාවට කජු කනවා වගේ කියලා. දැන් ඔවුන් ඉඩම් අල්ල ගන්න වැඩෙත් කජු කනවා වගේ කරනවා. අධි ආරක්ෂක කලාප, පාරම්පරික ඉඩම් උරුමය නැතිවීම උතුරට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒ කාරණාවට ජාතිය අදාළ වෙන්නේත් නැහැ. උතුරේ මිනිස්සු අපේ ඉඩම් අපිට දියව් කියලා උපවාස කරනකොට දකුණේ අපි කිව්වේ ඕවා බොරු. ඔය සේරම අන්තර්ජාතික ප‍්‍රජාව කුලප්පු කරන්න කරන වැඩ කියලා. එහෙම කියපු කටවල් වගේම මාධ්‍යත් පානම ඉඩම් මංකොල්ල යේදී හැසිරෙන්නේ වෙනත්ම විදිහකට. ඒ මොකද කියලා ඇහැව්වොත් සාටකයේ බලය කියලා තමයි කියන්න වෙන්නේ.

මොනවාද මේ ඉඩම්?

රාගම්වෙළ, සාස්ත‍්‍රවෙළ අක්කර 365ක් ගුවන් හමුදාව යටතට අරගෙන තිබෙනවා. එගොඩයාය, උල්පස්ස, හොරෙයිකන්ද අක්කර 835ක් නාවික හමුදාව යටතට අරගෙන තිබෙනවා. එගොඩයාය, උල්පස්ස අක්කර 835 ඇතුළේ පවුල් 200ක් පමණ වගා කටයුතු කළා. ඔවුන්ට පාරම්පරිකව උරුම බලපත‍්‍ර මේ සඳහා තිබෙනවා. රාගම්වෙළ ප‍්‍රදේශය ඇතුළේ පවුල් 80ක් පදිංචිව ඉඳලා තිබෙනවා. ඔවුන් ජනවාස වීම ඇරඹෙන්නේ 1965 තරම් ඈතක. රාගම්වෙළ, සාස්ත‍්‍රවෙළ, එගොඩයාය, උල්පස්ස, හොරෙයිකන්ද මේ හැම ප‍්‍රදේශයක්ම පාරම්පරික ජන උරුමයක් සහිතයි. ඒ වගේම පානම පාරම්පරික ගම වටේ තියෙන වෙරළට ආසන්න තැනිතලාව වාණිජ අතින් ගොඩාක් වටිනවා.

ආරුගම්බේ මුහුදු වෙරළ ලෝකයේ සර්ෆින් (දිය මත ලිස්සායෑම) ක‍්‍රීඩාවට වඩාත් උචිත වෙරළ තීරවලින් එකක්. ඒ හින්දාම වෙරළට යාව දකුණට වන්නට පිහිටලා තියෙන මේ වෙරළත් හෝටල් කර්මාන්තයට ගොඩාක් ආකර්ෂණීය වෙලා. මේ හැම දෙයක්ම විසින් අද පානම පැරැන්නන්ට නව පාරම්පරික උරුමය අහෝසි කරලා.

අපි මුලින් සඳහන් කළ පැරණි ගම්මානවලට තම ගම්වල ඉඳලා එලවා දමන ලද පිරිසට තිබෙන්නේ මොනවාගේ උරුමයක්ද? ප‍්‍රථමයෙන්ම උත්තර දුන්නේ 2010 ජූලි 17 වැනිදා එල්ල කළ ප‍්‍රහාරයෙන් එක්තැන්වුණු සෝමනාදන්.

‘‘මම රාගම්වෙළ පදිංචියට ගියේ 1965 අවුරුද්දේ. එතකොට ඔය ගමේ පවුල් 36ක් විතර පදිංචි වෙලා හිටියා. මගේ ළමයි තුන්දෙනාම ඉපදුණේ රාගම්වෙළ. රාගම්වෙළ ඉඳලා පානම සිංහල විද්‍යාලයට අකුරු කරන්න ආවා. අපිට බලපත‍්‍ර තිබුණා. ඒත් 1983දී ඉඩම් හරක් කාපුවාම අපි වන්දි ගන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලපත‍්‍ර ගෙහුන් දුන්නා. 1980 ගණන්වල ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිනි තිබ්බා ඒවා සේරම විනාශයි. දැන් ඔය රාගම්වෙළට පීීනට් ෆාර්ම් කියලත් කියනවා. ඒ ඇයි? ඒ 1970 කාලේ ලංකා බැංකුව අපිට රටකජු වගා කරන්න ණය දුන්න නිසා. ඒ ණය දුන්නේ මේව අපේ පුංචි ඉඩම් හින්දනේ මහත්තයෝ.’’

රාගම්වෙළට පහරදීමේ ඉතිහාසය

‘‘රාගම්වෙළ අපි මුලින්ම අවතැන් වුණේ 1995 අවුරුද්දේ. අපි ආයෙත් 2000 අවුරුද්දේ ගමේ පදිංචි වුණා. 2005 වෙනකොට රාගම්වෙළ පවුල් 80ක් හිටියා. ඊට පස්සේ 2010 ජූලි 17 ගහලා එලවනකම්ම ගමේ හිටියා.’’

රාගම්වෙළ අතීත උරුමය ඔවුන්ට අහිමි වුණු කතාව මේ විදියට අපිට කිව්වේ පානම සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු පුංචිරාළ සෝමසිරි. 2010 ජූලි 17 වැනි දින රාත‍්‍රී මෙම කඩා වැදීම සහ මාරාන්තික ප‍්‍රහාරයන් දියත් කර මුළු ගමම ගිනි යකාට පූජා කිරීම පිටුපස්සේ කවුරු ඉන්නවාද කියන එක තවම නීතියට සොයාගන්න බැරි වෙලා. පොලිසියට දීපු කටඋත්තර වගේම දාපු පැමිණිලිත් ගඟට කැපූ ඉනි වගේ පහළට ගසාගෙන ගිහින්. මේ පහරදීම සහ පිටමං කිරීම වෙන කාලය වන විට අක්කර 1200ක පමණ භූමියෙන් එහි පදිංචි පුරවැසියන් කිසිදු හිරිකිතයකින් තොරව ඉවත් කරලා ඉවරයි. පොලිසි ගිහින් බැරිම තැන ඔවුන් ගියේ මානව හිමිකම් සොයාගෙන.

මොනවද මේ නඩු?

පානමට ආසන්න මේ ගම්මාන පොකුරට අදාළව මුලින්ම නඩු මගට යන්නේ පොලිසිය. ඔවුන් ගම්මුන්ට එරෙහිව 5584 අංකය යටතේ පොතුවිල් අධිකරණයේ නඩු පවරනවා. මේ නඩුවේදී ප‍්‍රාදේශීය ලේකම්වරයා කියනවා මේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ කියලා. ඊට පස්සේ අධිකරණයට ගොඩනගින වන සංරක්ෂණයේ මහත්තුරු කියන්නේ එයාලාට මේ ඉඩම් අයිති නැහැ කියලා. නඩුව ගම්මුන්ගේ වාසියට පෙරළෙනවා. පස්සේ මේ ඉඩම් අරභයාම ගම්මු මානව හිමිකම් කොමිසමට යන්නේ 2011 නොවැම්බර් 15 දින. ඔවුන් අම්පාර මානව හිමිකම් කාර්යාලයේ තමන්ට වුණ අසාධාරණය ගැන පැමිණිල්ලක් HRC/AM/71/11/B/GI අංකය යටතේ දානවා. පැමිණිල්ල විභාග කරන මානව හිමිකම් කොමිසම කියන්නේ මේ ඉඩම් ගම්මුන්ට අයිතියි. වහාම ඔවුන්ට ඒ ඉඩම්වලට යන්න ඉඩදෙන්න කියලා. ඒත් මේ නිර්දේශ ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අතරේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ඒ නඩුව තවමත් නොවිසඳුණු නඩුවක්. මේ සියලූම නඩු හබ අස්සේ හමුදාව බලහත්කාරයෙන් ගන්න ඉඩම්වල ඉදිකිරීම් සිදුකරනවා. එතකොට එයට විරුද්ධව ලාහුගල ප‍්‍රාදේශීය සභාව නඩු දමනවා පොතුවිල් අධිකරණයේ. (නඩු අංකය 15460/UD) වාරණ නියෝග ලැබෙනවා. ඒත් ඉදිකිරීම් දිගටම ක‍්‍රියාත්මක වෙනවා. මේ හැමදෙයක් එක්කම සාම්ප‍්‍රදායික ගොවිතැනින් වගේම ධීවර රැකියාවෙන් ජීවිතය ගැටගසා ගත්ත මේ ගම්වල මිනිස්සු අවුරුදු 3ක්ම අවතැනේ බලා සිටිනවා. ඉදිකිරීම් දිගටම සිද්ධ වෙනවා. මෙම බලහත්කාරී පිටමං කිරීම් පිටුපස්සේ එයට දරදිය ඇද්ද ගම්මුන් සුළුතරයකට ඒ අදාළ ගම්මානවලින්ම ඉඩම් කට්ටි හතරක් ලැබෙනවා. ගම්මු නැවත තම තමන්ගේ ගම්වලට පදිංචියට යන්න තීරණය කරනවා. අපිට අපේ ඉඩම් ඕනෑ

‘‘අපිට දැන් බලා ඉඳලා ඇතිවෙලා. රාගම්වෙල දැන් ජයටම හෝටල් හදනවා. අපි හිතුවා අපි අපේ ඉඩම්වලට යනවා කියලා. ඒ වගේම අපි 2013 දෙසැම්බර් 12 වෙනිදා ගියා. හාමුදුරුවොත් අපිත් එක්ක ආවා. අපි කොහොමහරි පවුල් 26ක විතර කට්ටිය ඇතුළට ගියා. අනෙක් කට්ටියට එන්න බැරිවුණා. ගුවන් හමුදාවයි, පොලිසියයි ඇවිත් අපිව එලෙව්වා. පොලිසියේ එක්කෙනයි යුනිෆෝම් ආවේ. අනික් අය සේරම සිවිල් හිටියේ. ගුවන් හමුදාවත් ආවා. ගුවන් හමුදා කෑම්ප් එක තියෙන්නේ සාස්ත‍්‍රවෙළ. මේ ටිකේ දිගටම බංකර් හදාගෙන ආරක්ෂා කරනවා. දැන් විදුලි වැටක් එළාගෙන යනවා රාගම්වෙළ වටේටම. අලි පනින ප‍්‍රදේශවලට විදුලිවැට නැහැ. මේ වට කරන්නේ අලින්ට බයේ නෙවෙයි මිනිස්සුන්ට බයේ.’’

මේ යුද්ධය අහවර කළ හමුදාවේ අලූත් වැඩය. ගම්මුන් බොහෝ දෙනෙක් කියන්නේ හමුදා කඳවුරු බෝඞ් ලෑලි පාරට පෙනෙන්නට සවි කළත් කඳවුරු ඇතුළේ තැනෙමින් ඇත්තේ සුපිරි හෝටල් බවය. ඒවා දන්නේ උඩ ඉන්නා දෙවියෝත් අදාළ බලධාරීනුත් පමණය.

ඉස්සරහට මොකද කරන්නේ

පොලිසියේ පැමිණිලි දැම්මා. මානව හිමිකම් ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මා. ඒ කිසියම් ආයතනයකින් සාධාරණය ඉටු නොවන තැන නැවත 2013 දෙසැම්බර් 12 වැනි දින තම ගම්බිම්වලට ගියාම හමුදාව ඔවුන් එලවා දැම්මා. තවත් කළයුතු දෙයක් තිබේද? මේ පැනය අපි මුලින්ම ඇහැව්වේ පානම සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පානම ශ‍්‍රී චන්ද්‍රරතන හාමුදුරුවන්ගෙන්.

‘‘මෙහෙමයි මහත්තයෝ, දැන් එයාලා අපිට අලූත් ඉඩම් දෙනවා කියනවා. ඒ කොහෙන්ද? ගල්ගෙඩි ගොඩක් උඩ. අඩි පහක් කැපුවහම වතුර තියෙන අපේ මේ තැන දාලා අපි එයාලා දෙන මේ ගල උඩට යන්න ඕනෑ. එයාලා අපිට අපේ ඉඩම් දීලා ඔය ගල උඩට ගියා නම් නරකද? එතකොට මේ කිසි ගැටලූවක් නැහැ. දැන් අපිට තේරෙනවා කිසිම තැනකින් අපිට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ කියලා. ඒත් අපි මේ සටන අතඅරින්නෙත් නැහැ මහත්තයෝ. දැන් හමුදාවෙන් 30,000ක 40,000ක පඩියට ජොබ් ගමේ කොල්ලන්ට දීලා මේක කඩා ඉහිරවන්න හදනවා. අපිට කියන්න තියෙන්නේ බලමු කියලා. දැන් මේකනේ මහත්තයෝ වෙලා තියෙන්නේ. යුද්දෙ එන්න කලින් ඉඳලා අපි මේ ඉඳලා තියෙන්නේ හමුදාවේ ඉඩම්වලනේ. දැන් එයාලා අවුරුදු 30කට පස්සේ එයාලාගේ නිජබිමට ඇවිල්ලා. අපිට යන්න වෙලා. කාටද මේවා කියන්නේ. ඒ කොහොම වුණත් මහත්තයෝ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි ආයෙ ආයෙත් මේ ඉඩම්වලට යනවා. ඒක වළක්වන්න කාටවත් බෑ.’’

සාධාරණය ඉටුවීම ගොඩාක් පමාවෙලා. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවත් ගිලිහී ගිහිල්ලා. මේ ඉඩම් අක්කර 1200 තුළ ජීවත් වුණු ගැමියෝ ගොවිතැන වගේම ධීවර රැකියාවත් හරි හරියට කළ උදවිය. ඔවුන් අද ධනවතුන්ගේ කුලීකරුවන් වෙලා. ආත්ම ගෞරවය බල්ලාට ගිහිල්ලා. පානම සුරැකීමේ ව්‍යාපාරය තව තවත් ශක්තිමත් වෙනවා. පානම ආරක්ෂා කරන්න මුහුද වටින් ගොඩගැහිලා තියෙන දැවැන්ත වැලිපරය මෝටර් රථ ධාවන තරග සඳහා වෙන්කර ගන්න මෑතක යම් පිරිසක් කළ උත්සාහයන් ඔවුන් අද පරදවලා. ඒ වෙනුවට පානම මිනිස් ශ‍්‍රමය වෙරළ වැලි වැටිය සුරැකීමට කඩොලාන ශාක 40,000ක් සිටුවා අවසන්. මේ සියලූ දේවලින් පෙනෙන්නේ ඔවුන්ගේ ශක්තිය- පරිමාව. පුංචිරාළ සෝමසිරි නැවත කතා කළා. ඒ කතාවටත් ඉඩදෙමින් මේ මිනිස්සුන්ට සාධාරණය ඉටුවෙයි කියන අදහසින් මේ ලිපිය නිමා කරන්න සිතුවා. ඒත් මේ අරගලය තවමත් නිමාවී නැහැ.

‘මේකයි මහත්තයෝ මට නම් කියන්න තියෙන්නේ. අපි ආයෙත් දවසක යනවා. එදාට බලධාරීන් අපිව එළවන්න ආවොත් අපිට ගිනි තියාගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.’

මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා – ආර්. චන්ද්‍රසේන (සභාපති, ලාහුගල ප‍්‍රාදේශීය සභාව)

ඔය කියන 12 වැනිදා සිදුවීම මම දන්නේ නැහැ. ඒත් ඔතන ඔය ගුවන් හමුදාව යටතට අරගෙන තියෙන ඉඩම් කට්ටි ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ඉඩම් අහිමිවෙච්ච මිනිස්සු එතන අවුරුදු 25ක් විතර හිටිය කට්ටිය. දැන් අවුරුදු 3ක ඉඳල විකල්ප දෙනවා කියල කියනවා. ඒත් තාම ඒක ක‍්‍රියාත්මක වුණේ නැහැ. අනික විකල්ප දෙන්නේ මුහුද පැත්තෙන් නෙමෙයි ලෑන්ඞ් එක පැත්තෙන්. ඒවායේ කිසිම වටිනාකමක් නැහැ. මෙතන ලොකු අසාධාරණයක් තියෙන නිසා මම වන්දියක් හරි දෙන්න කියල කිව්වා. මගෙන් ලිස්ට් එකක් ඉල්ලූවාහම මම ඒක ප‍්‍රාදේශීය ලේකම්තුමාටයි ජනාධිපති ලේකම් කාර්යාලයටයි යැව්වා. තාම පිළිතුරක් නැහැ.

මෙතන ඉදිකිරීමක් යනවා – ඇන්ඩෲ විජේසූරිය (ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක)


ඔය කියන කොටසේ ගුවන් හමුදා ඉදිකිරීමක් කරනවා. ඒත් මම දන්න තරමින් ඒවා රජයේ ඉඩම්. ඒවායේ කලින් ඉඳල තියෙන්නේ අනවසර පදිංචිකරුවන්. එයාල ළඟදි ආවය කියන එක මට වාර්තා වෙලා නැහැ. කාලයක් ඔතන ගුවන්හමුදා ඉදිකිරීම්වලට අධිකරණ වාරණයකුත් ක‍්‍රියාත්මක වුණා. ඒත් ඒකේ වර්තමාන තත්ත්වය මොකක්ද කියන්න මම දන්නේ නැහැ.

රාවයට ලිව්වේ කේ.සංජීව