“නාඩා ඉතිං ඉන්න සේපාලිකා”

0

“අ‍පේ රටෙත් බොහෝම ප්‍රකට පැරණි කියමනක් තිබෙනවා මිනිසකු සම්පූර්ණ වීමට නම් කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි කියල. ඒ එකක් තමයි පුද්ගලයකු විසින් ගසක් සිටුවන්න ඕන කියල. දෙවැන්න තමයි පුතෙක් හදන්න ඕන කියන කාරණය. තුන්වැන්න තමයි පොතක් ලියන්න ඕන කියන එක. අපේ ඉතිහාසය දිහා බලන කාට උනත් ඒක තේරුම් යනවා ඒ බව ඉතිහාසයේ ඔප්පු කරල තිබෙනවා. පැරණි රජ දරුවන්ගේ කාලයෙත් ලේඛකයන්ට, සාහිත්‍යධරයන්ට, කලාකරුවන්ට සුවිශේෂී පිළිගැනීමක් වගේම සුවිශාල ගෞරවයක් අපේ රට තුල තිබුනා. මයුරපාද හාමුදුරුවෝ පූජාවලිය ලියල ඒක විහාරස්ථානයේ සිට රජමාළිගය දක්වා රජතුමාට පිළිගන්වන්න අරගෙන ගියේ ඇතකු පිට තැම්පත්කර හිදුවා දර්ශනීය පෙරහරකින් බව සදහන් වෙනවා. ඒ වගේ ඉතිහාසයක් තිබෙන අපේ ලේඛකයන්ව, සාහිත්‍යධරයන්ව, කලාකරුවන්ව නිසි ගෞරවය ලබාදීල රැකගන්න රජයක් හැටියට කලයුතු දේ නොපැකිළිව ඉටුකරන්න අපි කටයුතු කරනවා” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

නවක ලේඛිකාවක වන නිමේෂා දිල්හානි විජේරූප මෙනවිය විසින් රචිත “නාඩා ඉතිං ඉන්න සේපාලිකා” – කෙටි කතා සංග්‍රහය දොරට වැඩීම පසුගියදා ගාල්ලේ දී සිදුවූයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙනි. එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැමිණි පිරිස අමතමින් මෙසේ කීය.

“එංගලන්තයේ විසූ ප්‍රකට පුද්ගලයකු වුනු බේකන් සාමිවරයා වරක් ප්‍රකාශ කලා මිනිසකු පරිපූර්ණ පුද්ගලයකු වීමටනම් කියවීම අත්‍යවශ්‍යයි කියල.ලොකයේම සිදුවීම අතැඹුලක් සේ හකුලා ගන්න පොතකින් පුලුවන් වෙලා තිබෙනවා. නමුත් ඒ ඉදිරිපත් කිරීම තාත්වික වීම අවශ්‍යයි. එය කියවන විට ජනතාවට යම් ජීවන රසයක් ලැබිය යුතු වෙනවා. අපි හොද පොතක් කියන්නේ ඒ වගේ පොතකටයි. කතුවරයෙක් විසින් පොතක් ලිව්වට පස්සෙ එය කියවීමෙන් පාඨකයා යම් රසයක් යම් දැනුමක් ලබනවා. ඒ වගේම රසය, දැනුම මෙන්ම ජීවිතාවබෝධයකුත් එවැනි කෘතියක් කියවීමෙන් පසුව පාඨකයාට ලැබෙනවා. එවැනි කෘති උසස් සාහිත්‍ය කෘති හැටියට අපි හදුන්වනවා. ඒ වගේම තමයි අනෙකුත් කලාවන් වගේම තමයි සාහිත්‍යත් කලාවක්.සාහිත්‍යධරයකුගේ අමදව්‍ය වන්නේ තමන්ගේ ජීවිතයේ ලබන අද්දැකීම් සම්භාරයයි. තමන් කම්පනය කරන ලද සිදුවීමක් හරි අද්දැකීමක් හරි මන බඳින අයුරින් සාහිත්‍ය කෘතියක් හැටියට ඉදිරිපත් කිරීම තමයි කතුවරයකු විසින් සිදුකරනු ලබන්නේ. සැබෑ සාහිත්‍යකරුවන් කරන්නේ සුන්දර වචන දම්වැලේ පුරුක් වගේ එකිනෙකට බඳිමින් පාඨකයාට උසස් වින්දනයක් ලබාදීමයි කියල අපි කවුරුත් දන්නවා.ඒ වගේම තමයි එක පරම්පරාවක ඥාණ සම්භාරය දැනුම් සම්භාරය තවත් පරපුරකට දායාද කරන්න පුලුවන් වන්නේ පොත්පත් මගින්. පැරණි දේවල් අලුත් පරම්පරාවක් හැටියට දැනකියාගන්න අපට අවස්ථාව ලැබුනේ මෙවැනි පොත්පත් වල සඳහන් වෙලා තිබීම නිසයි.”

“දකුණු පළාත කියන්නෙ මේ රටේ ශ්‍රේෂ්ඨ ලේඛකයින්, සාහිත්‍යධරයින් රාශියක් බිහිකරපු පුරවරයක්. නවක ලේඛිකාවක් හැටියට නිමේෂා දිල්හානි විජේරූපටත් දකුණෙන් බිහිවුනු සෙසු ශ්‍රේෂ්ඨ ලේඛකයින්, සාහිත්‍යධරයින්, කලාකරුවන් අනුගමනය කරමින් සෞන්ධෛර්්‍ය පිරිපුන් ජීවිතාවබෝධය පුලුල් කරන කෘති බිහිකරමින් රටේ පිළිගත් ලේඛිකාවක් හැටියට පාසල් වියේ පටන් සිතේ තිබුනු සිහිනය සැබෑ කරගන්න ශක්තිය, ධෛර්ය ලැබේවායි! ප්‍රාර්ථනා කරනවා.”