පිරමීඩ වසංගතය ආයෙත් ඇවිල්ලා

0

පිරමීඩ ජාවාරමක්‌ ගැන සීසීඩියෙන් පරීක්‌ෂණ’ මැයෙන් වූ පුවතක්‌ පෙරේදා ‘දිවයින’ මුල් පිටුවේ පළ වී තිබුණි. මාධ්‍යවේදී නෝමන් පලිහවඩන ලියා තිබු එම පුවතේ සදහන් වූයේ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන බව කියන මහා පරිමාණයේ පිරමීඩ ජාවාරමක්‌ පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ මහ බැංකුවේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඉකුත් පෙබරවාරි 07 දා විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කළ බවයි. මෙම පිරමීඩ ජාවාරම පසුපස ප්‍රබලයන් රැසක්‌ සිටින බවත්, යම්කිසි භාණ්‌ඩයක්‌ මිලදී ගෙන එම පුද්ගලයා එම භාණ්‌ඩ හතරක්‌ තවත් සිව් දෙනකුට අලෙවි කිරීමෙන් පසු මුලින්ම මිලට ගත් පුද්ගලයාට ක්‍රමානුකූලව මුදල් වරප්‍රසාද ලැබෙන බවට මෙම පිරමීඩ කල්ලිය ප්‍රචාරය කර තිබු බවද එම පුවතේ සදහන් විය. ඇත්ත වශයෙන්ම කොයි පිරමීඩ ජාවාරම පිටුපසත් ප්‍රබලයින් සිටී. ඇතැම් විට මැති ඇමතිවරු මෙන්ම ඔවුන්ගේ ගෝලබාලයෝද මේවාට නියම් හෝ අනියම් ආකාරයෙන් සම්බන්ධ වී සිටිය හැකි නිසා මේවාට එරෙහිව හරි හැටි පරීක්‌ෂණ සිදු නොවී තිබිය හැකිය. ඉහතින් සදහන් කළ පුවතේ තවදුරටත් සඳහන්ව තිබූ කාරණයක්‌ වූයේ එම පරීක්‌ෂණවලින් හෙළිවන තොරතුරු අනුව සැකකරුවන් සියලු දෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියන බවයි. එසේ වෙනවානම් ඉතාම හොද නමුත්, ඔය කියන අයුරින්ම පිරමිඩ් ජාවාරම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව පිරමීඩ ජාවාරම්වල ස්‌වභාවය දන්නා අය දනිති. පිරමීඩ් ජාවාරම ගැන මහජනතාව දැනුම්වත් කරන මාධ්‍ය දැන්වීම් වල සදහන් වන්නේ එම ජාවාරම් වලට වගකිවයුත්තන්ට දැඩි දඩුවම් හිමි වන බවයි. එහෙත් කලක්‌ තිස්‌සේ රට පුරා පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වුවත්, එම නීති ගෙනා දින සිට අද දක්‌වා ඔය දැඩි දඩුවම් ලැබූ එක්‌කෙනෙකුවත් සිටිනවාද? ඇත්තවශයෙන්ම රට තුළ කලක්‌ තිස්‌සේම පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වෙමින් තිබුනත්, ඒවා පතුරු වන අය කොතෙකුත් සිටියත් අද වන තෙක්‌ මේ සම්බන්ධයෙන් මහ බැංකුව කියන දැඩි දඩුවම් තියා සුලු දඩුවමක්‌ හෝ ලැබූ කිසිවෙකුත් මේ ලංකාවේ නැත. ඒ නිසා මහ බැංකුව කියන දැඩි දඩුවම් ඔවුන්ගේ (කාටත් නොතේරෙන) දැන්වීමට පමණක්‌ සීමා වී ඇත. පසුගිය රජය කාලයේදී මෙන්ම, අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා පත් වීමෙන් පසුව ද මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක්‌ ඇති වී ඇති බවක්‌ නොපෙනේ. මෙවන් කනගාටුදායක පසුබිමක්‌ තුළ රට පුරා පැතිරෙන පිරමීඩ වසංගතය ගැන අපි සාකච්ජා කරමු.

දැඩි දඩුවම් පමුණුවමින් පිරමීඩ ජාවාරම් වලට එරෙහිව නීති පණවා ඇති එක ඉතා හොඳය. එහෙත් වචනයට පමණක්‌ සීමා වී ඇති මේ දැඩි දඩුවම් අදාළ වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාත්මක වන තත්වයක්‌ ඇති කළ යුතුව තිබේ. තවමත් මේ නීති හරි හැටි ක්‍රියාත්මක නොවන නිසා මෙවැනි ජාවාරම්, එම නීති වලට කිසිදු බියකින් තොරව විවිධ ප්‍රදේශවල ඉතා ප්‍රසිද්ධියේම කරගෙන යනු ලබයි. මෙම පිරමීඩ ක්‍රම වලට එරෙහි නීති ගෙනා මුල් කාලයේ නම් මෙවැනි ජාවාරම්වලදී දේශන, වැඩමුළු පවත්වන ස්‌ථාන වටලා අදාළ සැකකරුවන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ ක්‍රියාවලියක්‌ තිබුනත්, පසුව එය නතර විය. එසේ පිරමීඩ ජාවාරම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම කාලයක්‌ තිස්‌සේම නැවතී තිබුණි. අප මේ ලිපිය ආරම්භයේදී සදහන් කළ පුවතේ සදහන් වූ පරිදි නැවත එම අක්‍රියව පවතින නීති ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇත්නම් අපි ඉතාම සතුටු වෙමු. එහෙත් එය එසේම දැයි අපට ඉදිරි දිනවලදී දැක බලා ගත හැකිය. විශේෂයෙන් පරීක්‌ෂණවලින් හෙළි වන තොරතුරු අනුව අදාළ සැකකරුවන් සියලු දෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය කියන දේ ද ඒ කියන ආකාරයෙන්ම ඉටු වනු ඇතිද යන්නත් අපි බලා සිටිමු. ඒ කියන දේවල් ඒ ආකාරයෙන්ම වෙනවා නම් ඉතා හොද නමුත්, මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු නීතිය ක්‍රියා කරන අංශ ගැන මෙන්ම මහ බැංකුවද ඇතුළුව අදාළ රජයේ වගකිව යුතු අංශ සම්බන්ධයෙන්ද පුර්ණ විශ්වාසයක්‌ තැබීමට අපහසුය. මේ නිසා මහජනතාවට ඇති එකම ගැලවීම වන්නේ මේ ජාවාරම්වල ඇත්ත තත්වය ගැන හරි හැටි දැනුවත් වී ඒවාට හසු නොවී සිටීමයි. ඒ නිසා මේ පිළිබදව මහජනතාව දැනුවත් කිරීම අංක එකටම වැදගත් කාරණය බවට පත්ව තිබේ. ඒ නිසා මේ ලිපියෙන් අප උත්සාහ ගන්නේ ඕනෑම පිරමීඩ ක්‍රමයක්‌ පහසුවෙන් හදුනාගෙන, ඒවාට හසු නොවී සිටීමේ දැනුම මේ රටේ මහජනතාවට ලබා දීමටයි.

පිරමීඩ ජාවාරම් කලින් කලට නොයෙකුත් නම් හා ස්‌වරූපවලින් ක්‍රියාත්මක වනු දැකිය හැකිය. මේ දිනවලත් පිරමීඩ ජාවාරම් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ පිළිබඳව නීතිරීති කොතෙකුත් තිබුණත්, මහජනතාව කෙතරම් දැනුවත් කළත්, බොහෝ දෙනෙක්‌ මේවාට තවදුරටත් රැවටෙමින් සිටින අයුරුද දැකගත හැකිය. පසුගිය කාලයේ හොරණ ප්‍රදේශයේ ‘දිවයින’ පාඨකයෙක්‌ගෙන් මේ ලියුම්කරුට ලැබුණු ලිපියකින්, එම ප්‍රදේශයේ ජයටම පිරමීඩ ජාවාරම දියත්ව ඇති අයුරු පෙන්වා දී තිබිණි. එම ප්‍රදේශයේ අදාළ දේශන පැවැත්වෙන ස්‌ථාන පවා සඳහන් කරමින් එවා තිබූ එම ලිපියෙන් අවධාරණය කර තිබුණේ, පිරමීඩ ජාවාරම් පිළිබඳව යළිත් මහජනතාවදැනුවත් කිරීමේ වැදගත්කමය ගිය සතියේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ සෝලා පැනල් යොදාගෙන සිදු කරන පිරමීඩ ජාවාරමක්‌ ගැනද හෙළිදරව් කර තිබුණි. කලින් කලට විවිධ පිරමීඩ ක්‍රම කල එළි දකින නිසා එවැනි හැම පිරමීඩ ක්‍රමයක්‌ ගැනම වෙන වෙනම අධ්‍යනය කිරීම අපහසු වැඩකි. ඒ නිසා පොදුවේ ඕනෑම පිරමීඩ ක්‍රමයක්‌ ඉතා පහසුවෙන් හදුනා ගත හැකි නම්, කලින් කලට විවිධ නම් වලින් සහ විවිධ ස්‌වරූප වලින් එන ඕනෑම පිරමීඩ ක්‍රමයකට හසු නොවී සිටීමට ඔබට පුළුවන. අපේ අරමුණ එම දැනුම සහ හැකියාව ඔබට ලබා දීමයි. පිරමීඩ ක්‍රමවල යම් භාණ්‌ඩයක්‌ අලෙවි කරන බවක්‌ පෙනුනද ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ එම භාණ්‌ඩය මිලදී ගැනීම හරහා ඔබ එම පිරමීඩ ක්‍රමයේ නියෝජිතයෙක්‌/සාමාජිකයෙක්‌ බවට පත් කර ගැනීමයි. මෙතන ඇත්තේ සත්‍ය වශයෙන්ම භාණ්‌ඩ අලවියක්‌ නම් ඔබට එම භාණ්‌ඩය මිලදී ගෙන නිකන් සිටිය හැකි විය යුතුය. එනම් ඔබට අවසන් පාරිභෝගිකයෙක්‌ වීමට හැකිවිය යුතුය. එහෙත් පිරමීඩ ජාවාරම්වලදී ඔබට එම භාණ්‌ඩය මිලදී ගෙන එය තවත් අයට අලෙවි කිරීමට සිදු වේ. ඒ නිසා කොයි නමින් ආවත් ඔබට යම් භාණ්‌ඩයක්‌ මිලදී ගෙන අවසාන පාරිභෝගිකයෙක්‌ වීමට ඉඩ නොදී, එය තවත් අයට හදුන්වා දීමට අලෙවි කරන සිදු වෙනවානම්, ඒ සියල්ල පිරමීඩ ක්‍රම බව ඉතා සරලව මතක තබාගන්න. ඒ නිසා ඔබට යම් භාණ්‌ඩයක්‌ මිලදී ගැනීමට කියන කෙනා, ඉන් නොනැවතී එම භාණ්‌ඩය තවත් අයට හදුන්වා දෙන්නට අලෙවි කරන්නට කියනවානම් මොන තරම් සුන්දර ලෝකයක්‌ ඔබට මවා පෙන්නුවත්, ඔහු ඔබව වංචාකාරී පිරමීඩ ක්‍රමයකට ගොදුරු කර ගැනීමට එන යක්‌ෂයෙක්‌ බව හදුනා ගන්න.

2004 වසරේ මුල වන විට එක්‌තරා පිරමීඩ යෝජනා ක්‍රමයක්‌ අප රටේ වේගයෙන් පැතිර යමින් තිබුණි. මේවා දිවයිනේ නොයෙක්‌ ප්‍රදේශවල හඳුන්වාදී තිබුණේ මහජනයාට ක්‌ෂණිකව මුදල් උපයා දෙන ක්‍රම වශයෙනි. එම ක්‍රමයට කිසියම් භාණ්‌ඩයක්‌ අලෙවි කිරීමෙන් සාමාජික පිරිසක්‌ බඳවා ගන්නා අතර, ඔවුන් විසින් කළ යුතු වූයේ අදාළ භාණ්‌ඩ අලෙවි කරමින් තව තවත් සාමාජිකයන් බඳවා ගැනීමයි. මෙසේ සාමාජිකයන් බඳවාගෙන ඉදිරියට යැමේ අවසානයක්‌ නැත. දසදෙනා බැගින් බඳවා ගතයුතු පිරමීඩ යෝජනා ක්‍රමයක්‌ ගැන සිතන්නේ නම් මෙම යෝජනා ක්‍රමයට බැඳෙන කිසියම් පුද්ගලයෙකු තවත් දහදෙනෙක්‌ මේ සඳහා බඳවා ගත යුතුය. (ගොදුරු කර ගත යුතුය.) ඒ දහදෙනා තව සියදෙනෙක්‌ද (එක්‌ අයකු දහදෙනා බැගින්), ඒ සිය දෙනා තව සාමාජිකයන් දහසක්‌ ද බඳවා ගත යුතුය. මෙසේ බඳවා ගතයුතු සාමාජික සංඛ්‍යාව දසදහස, ලක්‌ෂය, දශ ලක්‌ෂය, කෝටිය, දසකෝටිය සහ බිලියනය (කෝටි සියය) යනාදී ලෙස ගුණිතාකාර ලෙස ඉහළ යයි. මේ ආකාරයට අඛණ්‌ඩව සාමාජිකයන් බඳවාගෙන ඉදිරියට යාමට නම් විවිධ මට්‌ටම් වශයෙන් ඉදිරියට යාමේදී කිසියම් ගමක, නගරයක හෝ පළාතක පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ ජනගහනය ද ප්‍රමාණවත් නොවෙයි. අසල්වැසි ඉන්දියාවේ ජනගහනය ද මදිවෙයි. එමතු නොව ලෝක ජනගහනයද මදිවී, අඟහරු ලොව වැසියන්ද (අඟහරු ලොව වැසියන් සිටින බවත්, ඔවුන් පිරමීඩාකාර සූදු කෙළීමට කැමැත්තක්‌ දක්‌වන බවත් අපි මොහොතකට සිතමු.) මෙම පීරමීඩාකාර යෝජනා ක්‍රම බිඳ නොවැටී පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැත. හේතුව නම් කලින් සඳහන් කළ පරිදිම මෙම ක්‍රමවලට සාමාජිකයන් බඳවාගෙන ඉදිරියට ගමන් කිරීමට සිදුවීමේ අවසානයක්‌ නැති බැවිනි. කිසියම් අවස්‌ථාවක අලුතින් සාමාජිකයන් බඳවා ගත නොහැකිව මේ ක්‍රම බිඳ වැටෙයි.

වාසනාවකට මෙන් නොයෙකුත් හේතු නිසා මුදල් තිබුණත් පිරමීඩාකාර සූදුවලට එක්‌වීමට අකමැති පුද්ගලයන් මෙන්ම, එක්‌වීමට කැමති වුවත් මුදල් නොමැති පුද්ගලයන් ද සිටින බැවින් අප කලින් පැහැදිලි කළ තරම් ඉදිරියට නොයා මෙම පිරමීඩ ක්‍රම ඊට බොහෝ කලකට පෙර කඩා වැටෙයි. එනම් පෙර කී රුසියන් ලේඛකයා සඳහන් කළ පරිදිම අලුතින් සාමාජිකයන් සොයාගත නොහැකිව ‘ගිරිහිම නිපාතයට්‌ හසුවෙයි. මෙසේ පිරමීඩ යෝජනා ක්‍රමයක්‌ කඩා වැටුණු පසු තත්ත්වය ඉතා ෙ€දජනකය. ඇත්ත වශයෙන්ම අවසානයේදී සිදුවී තිබෙන්නේ, පිරමීඩ ක්‍රමය ක්‍රියාත්මක කළ සමාගම (හෝ පුද්ගලයන්) කෙටිකලක්‌ තුළ අතිවිශාල ලෙස පොහොසත් වී (විශාල පිරිසක්‌ රවටා කොල්ලකා ගත් ධනයෙන්) පිරමීඩයේ උඩ සිටින අතළොස්‌සක්‌ දෙනාට ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලබාදී (මෙය එම පිරමීඩාකාර සමාගම කොල්ලකෑ ධනයෙන් සොච්චමකි.) පිරමීඩ යෝජනා ක්‍රමයේ පහළ මට්‌ටම්වලදී ඊට සම්බන්ධ වූ අතිමහත් බහුතරයට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක්‌ නොලැබ, තමා යෙදවූ මුදලද අහිමිවී යාමයි.

පිරමීඩ යෝජනා ක්‍රමයකින් වාසියක්‌ ලැබූ අයෙකුට ඇත්තටම සතුටුවිය හැකිද? විශාල පිරිසකට අහිමි වූ ධනයෙන් (එසේ ධනය අහිමි කිරීමට දායක වී) යම් සුළු වාසියක්‌ ලබා යමෙකුට සතුටු විය හැකිද? එසේ සතුටු විය හැකි නම් ඔහු කවරාකාර පුද්ගලයෙක්‌ද? අනෙක්‌ මිනිසුන්ගේ දුක, වේදනාව නොහඳුනන තමා ගැනම පමණක්‌ සිතන ආත්මාර්ථකාමී නරුමයෙකි. එසේ නොවේ නම් පිරමීඩ යෝජනා ක්‍රමයකින් විශාල පිරිසක්‌ ධනය අහිමි වී දුකට, වේදනාවට පත්වන විට එම ධනයෙන්ම තමන්ට ලැබෙන වාසිය ගැන පමණක්‌ සිතා සතුටු විය හැක්‌කේ කාටද?

මෙවන් පසුබිමක සහ පිරමීඩ ජාවාරම් රට පුරා පැතිර ගොස්‌ ඇති මොහොතක ඒ පිළිබඳ මහජනයා දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගේ මෙන්ම මහ බැංකුවේද වගකීමකි. මහ බැංකුව ඒ දැනුවත් කිරීම හුදෙක්‌ දැන්වීම් පළ කිරීමකට පමණක්‌ සීමා කිරීම ප්‍රමාණවත් නොවන බව කිව යුතුය. මහ බැංකුව විසින් වරින් වර දැන්වීම් පළ කිරීම ඉතා හොඳය. එහෙත් ඊට අමතරව මහජනතාව දැනුවත් කිරීමේ කටයුත්ත මාධ්‍යවේදීන් සමග එකතු වී මහ බැංකුවට ඉටු කළ හැකි නම් ඉතා සාර්ථක ප්‍රතිපළ ලබාගත හැකි බවද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රමුඛ වගකිවයුත්තන් සිතට ගත යුතුය. මේ කාරණය අප විසින් මීට පෙරද පෙන්වා දුන් එකකි. එහෙත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කිසිවක්‌ නොකළ නිසා, රට තුළ ක්‍රියාත්මක වන විවිධ පිරමීඩ ජාවාරම් වලට අපේ ජනතාව දිනෙන් දිනම ගොදුරු වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් නිසි වගකීමකින් මහ බැංකුව ක්‍රියා කරන බවක්‌ නම් අපට නොපෙනේ. ඒ නිසා රට තුළ ව්‍යාප්ත වී ඇති මේ පිරමීඩ පිළිලයෙන් ජනතාව ගලවා ගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාව වෙනුවෙන් අපි මහ බැංකුවෙන් ඉල්ලා සිටිමු. මහ බැංකුව තවදුරටත් එය නොකර සිටින්නේ නම්, පිරමීඩ ජාවාරම් වලට අපේ ජනතාව දිනෙන් දිනම ගොදුරු වෙමින් සිටින තත්වයට මහ බැංකුවටද වගකීමට සිදු වන බව අපි කියා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත