ඇමතිගේ අමනෝඥ තීන්දුවෙන් රාජ්‍ය සේවය විනාශයි….ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවේ වල ආණ්ඩුවම කපා ගන්නවා ද?

0

පරිපාලනයේ හා අමාත්‍යවරුන්ගේ දූරදර්ශි නොවන තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවාව තුළ අලුතින් අර්බුද ම් තුව් එමින් පවතින බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා.

එම සේවාවේ පැන නැගි ඇති ගැටළු අ බලධාරීන්ගේ නිසි අවබෝධය ඒ සඳහා යොමු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සඳහන් කර සිටිනවා.

රජයේ කාර්යාල පද්ධතිය තුළ වැඩිම වැඩ කොටසකට උරදී සිටින සේවාවක් මේ අයුරින් කප්පාදුවට ලක්කිරීමට  ගෙන ඇති තීරණය වහාම නතර කිරිමට පියවර ගන්නා ලෙසත් එසේ නොකිරීම හරහා ඉදිරියේ දී පවතින මැතිවරණවලදී පමණක් නොව ඉදිරියේදී ආණ්ඩුවේ සෞඛ්‍යයට ද එය දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය,

2018. 03. 17

ගරු ජනාධිපති
මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනී,

ඇමතිවරුන්ගේ අමනෝඥ තීන්දුවෙන් කප්පාදුවට ලක්වන
රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාව සම්බන්ධවයි.

මීට මාස කිහිපයකට පෙර සතියකට ආසන්න කාලයක් පුරා පැවති දුම්රිය වැඩ වර්ජනයට අදාළව ඔබතුමා විසින් පත්කරන ලද ඇමති අනුකමිටුව හා සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජකයින් වර්ජනය නිමාකළ බව මාධ්‍ය මගින් වාර්තා කෙරුණි. ඒ අනුව එළඹගත් ප‍්‍රධාන තීන්දුවක් වූ වැටුප් ගැටළුවට විසඳුම් ලබාදිය හැකි යයි එකී ඇමතිවරුන් පැවසූහ. එහෙත් ඒ මගින් වැටුප් ගැටළුව විසඳාලිය නොහැකි බව අප තරයේ විශ්වාස කරන අතර ම ඒ තුළින් අළුතින් අර්බුදයන්් නිර්මාණය කෙරෙන බව මොවුන් විසින් අවබෝධ කර නොගැනීම ගැන අපට ඇත්තේ බලවත් විමතියකි. ඒ තරමට ම අදූරදර්ශී ඇමතිවරු ඔබ අමාත්‍ය මණ්ඩලය තුළ සිටින බව පසුගිය කාලය පුරා අනුමත කළ ඇතැම් අමාත්‍ය මණ්ඩල පත‍්‍රීකා තුළින් මොනවට පැහැදිලි වේ.

මෙහිදී පැහැදිලි ලෙස පෙනීයන කරුණක් නම් ගැටළුව ඇතිවී තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වුවත්, විසඳුම් දීමේදී අනුකමිටුව නියෝජනය කළ ඇමතිවරුන් පැවති තත්ත්වය දඩමීමා කරගනිමින් තමන්ගේ උවමනාවන් සපුරාගත් බවයි. යම් හෙයකින් මෙම ඇමති කමිටුවට තවත් ඇමතිවරු කීපදෙනෙක් ඇතුළත් වූවානම් එම අමාත්‍යාංශත් සංවෘත අමාත්‍යාංශ බවට පත්කර ගැනීමට ඉඩ තිබුණි.

මෙකී තීන්දුව තුළින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට සිදුවන හානිය හා කප්පාදුව ඉතාම බරපතලය. මේ වනවිටත් සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවය නමින් අප සේවාවට යා නොහැකිවන ලෙස සංවෘත කරමින් එකී සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කරන ලද්දේ, එදා ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද කමිටුව (රාජ්‍ය  පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන අයගෙන් සමන්විත) විසින් පැහැදිලි කරන ලද එහිි ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට නොගනිමිනි. එපමණක් නොව රාජ්‍ය සේවා කොමිසම ද එයට අනුමැතිය දීම ඒ වන විට ප‍්‍රතික්ෂේප කර තිබුණි.

මේ සම්බන්ධව අප රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති විසින් ඔබතුමා ඇතුළු සියලූ බලධාරීන් වෙතට මෙහි ඇති වංචනික හා අවුල් සහගත තත්ත්වයන් හෙළිදරව් කරමින් මෙය වළක්වන ලෙසට ලිපි මගින් කරුණු ඉදිරිපත් කළ ද, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් අමාත්‍ය මණ්ඩලය මගින් එකී ව්‍යවස්ථාව අනුමත කරන ලද්දේ සෞඛ්‍ය ඇමතිතුමාට ආණ්ඩුව තුළ ඇති බලයේ මහිමයෙන් බව පැහැදිලිය. මෙහි ඇති නරක ම තත්ත්වය නම් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට මෙන් ම මීට පෙර 2004 වසරේදී ස්ථාපිත කරන ලද සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාවට බඳවා ගැනීමේ දී සේවා ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන සලසා තිබුණේ එහි දක්වා ඇති අදාළ සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් කැඳවා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පවත්වනු ලබන තරග විභාගයේ ඉහළ ම ලකුණු ලැබූවන් අතරින් තෝරාගන්නා බවයි. එහෙත් අළුතින් ස්ථාපිත රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාවේ බඳවාගැනීමේ ක‍්‍රමවේදය සකස්කර ඇත්තේ අදාළ සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් කැඳවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අභිමතය මත විභාගය පැවැත්වීමට බලය පවරා ගනිමිනි. මෙය පැහැදිලිව ම සෞඛ්‍ය ඇමතිවරයාට සහ පවුලේ අයට (මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කටයුතු සිදුවනුයේ ඇමති බිරිඳ, පුතා ඇතුළු අයගේ මැදිහත්වීම මත) අවශ්‍ය ලෙස අනුමැතිය ලබාදි ඇත්තේ නව දේශපාලන ගෝලබාලයන්ගෙන් මෙකී සේවාවට බඳවා ගැනීමට හැකිවන පරිදිය. මෙහිදී රාජ්‍ය සේවා කොමිසම ද තමන්ගේ ස්වාධීනත්වයේ සළුපිළි උනා දමා ඇමතිවරයාගේ වුවමනාව වෙනුවෙන් ම කටයුතු කර ඇත්තේ ලාංකීය ජනතාවට ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ ඇති විශ්වාසය ද බිඳහෙළමිනි.

මේ වන විට රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාව එළිදක්වා ඇත. දැන් සෞඛ්‍ය සේවාව තුළ බරපතල ගැටළු ගණනාවකි. සේවා ව්‍යවස්ථාවට අකමැති නිලධාරීන්ට තවමත් ඉන් පිටතට මාරුවී යාමට ඉඩකඩක් ලැබීනොමැත. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමියට ද ඔවුන්ට පිටතට මාරුවීම් ලබාදීමට ඉඩකඩ නැත්තේ, තවමත් ඔවුන් නිදහස් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා තීරණයක් ලබාදී නොමැති බැවිනි. මේ සම්බන්ධව රාජ්‍ය සේවා කොමිසම දැනුවත් කළද ඔවුන් ද නිහැක්‍ෂියාවක් දක්වමින් සිටී. සෞඛ්‍ය සේවාව තුළ අප නිලධාරීන් බොහෝ දෙනෙකුට දැඩි පීඩාවකින් පසුගිය කාලය පුරා රාජකාරි කරන්නට සිදුවිය. ඒ  එකම  විෂයක වසර ගණනාවක් පුරා අරක් ගෙන රාජකාරි කරමින් විවිධ දූෂිත ක‍්‍රියාවන්වල යෙදෙන නිලධාරීන්ගේ අකටයුතුකම්වලට මේ නිලධාරීන් බාධාවක් වූ නිසාවෙනි. කෙසේ වෙතත් ඉහත සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවය ස්ථාපිත කරීමට ආණ්ඩුව ගත් තීරණය මෙවර පළාත්පාලන මැතිවරණයේ ආණ්ඩුවේ පසුබෑමට ද හේතු සාධකයක් වූ බව නොකියා ම බැරිය. මන්ද, සමස්ත රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ සියලූ  වෘත්තීය සමිති මේ සම්බන්ධව දැඩි විරෝධතාවක් පළකරද්දී ඒවා නෑසූ කන්ව මෙය ස්ථාපිත කිරීමෙන් සේවාවේ සියලූ නිලධාරීන් තුළ ආණ්ඩුව සම්බන්ධව උත්පාදනය වූූ කළකිරීම නිසාම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට දැඩි තීරණයක් ගෙන ක‍්‍රියාත්මක වූ නිසාය.

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සේවාව ස්ථාපිත කිරීම තුළ රාජ්‍ය කළමනාකරණ හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවාවට සිදුවූ කප්පාදුව තනතුරු ප‍්‍රමාණය 5000 කට අධිකය. ඒ අතර පරිපාලන නිලධාරී තනතුරු 200 කට අධිකය. කරුණු එසේ තිබිය දී මේ වන විට තවත් ආයතන කිහිපයක් සංවෘත සේවා කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසාවෙන් කප්පාදු වන කළමනාකරණ සහකාර තනතුරු ප‍්‍රමාණය 6000 කට ආසන්න වන අතර ම පරිපාලන නිලධාරී තනතුරු ප‍්‍රමාණය 250 කට ආසන්නය. ඉදිරියේ දී තවත් ආයතන කීයක් සංවෘත කිරීමට මේ අමාත්‍යවරුන් කටයුතු නො කරාවි යැයි අප විශ්වාස නොකරන්නේ ඔවුන්ගේ ගෝලබාලයන්ට රැකියා ලබාදීමට මෙය ඉතා පහසු කිරිමක් වන බැවිනි. මීට ඇති එක් සාක්ෂියක් වන්නේ අධ්‍යාපන ඇමතිවරයා විසින් ජාතික පාසල්වල සිටින රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 800කට අධික නිලධාරීන් පිරිසක් එළියට ඇදදමා ඒ වෙනුවට ලේඛන සහකාර සේවයෙන් එකී පිරිස බඳවා ගැනිමට කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ අනුමැතිය ඉල්ලමින් දරණ ලද උත්සාහයයි. එහිදී අප සංගමය මැදිහත්ව ඒ සම්බන්ධව දක්වන ලද විරෝධය හා කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙහි ඇති හානිකර තත්ත්වය පැහැදිලි කිරීම මත ඔහු විසින් ඊට අදාළ අනුමැතිය ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලදී. මේ එළිදැක්වෙමින් ඇත්තේ තම පාක්ෂිකයන්ට සැලකීමට ගන්නා ලද දෙවෙනි උත්සාහය බව අප අවධාරණය කරමු. එපමණක් ද නොව 2004 වන විට මධ්‍යම රජයේ 36000 කට ආසන්න කළමනාකරණ සහකාර තනතුරු ප‍්‍රමාණය 2013 වන විට 29000 ක් දක්වා කප්පාදු කර ඇත. ඒ අතර ම උපාධිධාරීන්ට පත්වීම් ලබාදී ඔවුන්ට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තනතුරුවල රාජකාරි පැවරීම හරහා ද බරපතල ගැටළු නිර්මාණය වී ඇති අතර ම එය අප සේවාව කප්පාදුවට දැඩිව හේතුවී ඇති බව පෙන්වා දෙමු.

ඉහත සියලූ කරුණු මගින් අප ගෙනහැර පෑවේ රාජ්‍ය සේවයේ එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය තුළ ආරම්භ වූ සේවාවකට මේ වන විට අත්වෙමින් පවතින ශෝචනීය ඉරණමයි. එදා මෙදාතුර රටේ පරිපාලනයේ වැඩිම මෙහෙවරක් සිදුකරන ලද එදා රජයේ ලිපිකරු සේවාව ලෙසද අද එය සේවාවන් 6 ක එකතුවකින් බහු කාර්ය සේවාවක් ලෙස රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාව ලෙස ස්ථාපිත කරන ලද්දේ වර්තමානයේ පවතින නව තාක්ෂණය ද, අළුත් තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමිනි. එවක් ලෙස රජයේ කාර්යාල පද්ධතිය තුළ වැඩිම වැඩ කොටසකට උරදී සිටින සේවාවක් මේ අයුරින් කප්පාදුවට ලක්කිරීමට  ගෙන ඇති තීරණය වහාම නතර කිරිමට පියවර ගන්නා ලෙස අප ඔබතුමාගෙන් දැඩි  ඕනෑකමින් යුතුව ඉල්ලමු. එසේ නොවන්නේ නම් ඉදිරියේ දී පවතින මැතිවරණවලදී පමණක් නොව ඉදිරියේදී ආණ්ඩුවේ සෞඛ්‍යයට ද එය දැඩි බලපෑමක් සිදුකරනු ඇති අතර ම, ඒ වෙනුවෙන් සමස්ත අප සේවාවම එක මිටකට පෙළගැස්වීම ද අප සියලූ සංගම් එක්ව සිදුකිරිමට සිදුවන බව ද කණගාටුවෙන් වුවත් දන්වමු.

ස්තූතියි.

මෙයට,
චන්දිම විමලසුරේන්ද්‍ර                යූ. පලිහවඩන
ප‍්‍රධාන ලේකම්                       ප‍්‍රධාන සභාපති
සංගමයේ නියමය පරිදි.             සංගමයේ නියමය පරිදි.