රජදරුවන් සටන් කළ ඓතිහාසික මුල්ලේරියාව තාක්ෂණ මහා නගරයක් කරනවා

0

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, අඹතලේ ඉදිකෙරෙන වැසිජල පොම්පාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය ප‍්‍රධාන වනුයේ මාදිවෙල ඇළ ආශ‍්‍රිත වර්ග කි.මී 21 ක වපසරියකට අයත්වන තලංගම, ඇවරිහේන සහ මාලඹේ නැගෙනහිර ප‍්‍රදේශය ගංවතුරින් මුදවා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙසිනි.

මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇල මාර්ගය තලංගම ප‍්‍රදේශයෙන් ආරම්භ වී, මාලඹේ හා කඩුවෙල හරහා පැමිණ අඹතලේදී කැළණි ගඟට විවෘත වේ. වැසි සමයේදී මෙම ඇල මාර්ගය පිටාර ගලන අතර ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගංවතුර ඇති වීමට මෙම පිටාර ගැලීම බලපායි. එමෙන්ම කැළණි ගෙඟ් වතුර මට්ටම පහළ යන අවස්ථාවේ දී, දැනට අඹතලේ සාදා ඇති ජල පාලන දොරටු වලින්, මෙම පහත් බිම්හි රැඳී ඇති ජලය ගලා ගිය ද, ගෙඟ් වතුර වැඩිවන අවස්ථාවන්හි දී මෙම දොරටු වලින් ජලය මුදා හැරීමට නොහැකි වන බැවින්, එම ප‍්‍රදේශයේ ඇති වගුරු බිම් වල රැඳී ඇති වැසි ජලය ඉවත් කිරීමට නොහැකි වන නිසා මෙම ප‍්‍රදේශ වසාගෙන ඉතා දිගු කලක් ජලය රැඳී තිබීමෙන් එම ප‍්‍රදේශ වාසීන්ට මහත් පීඩාවලට මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් ප‍්‍රදේශය තුළ එක් රැස්වන ජලය ගඟට පොම්ප කිරීම සඳහා පොම්පාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය. පොම්පාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2,870 ක් පමණ ආයෝජනය කිරීමට නියමිතය. එහි ඉදිකිරීම් කාලය මාස 21 කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙයට වසර 60 කට පමණ පෙර ඉන්දියාවේ ජවහල්ලාල් නේරු මහතා හමුවෙන්න චීනයේ අග‍්‍රාමාත්‍ය ෂොවු එන්ලායී මහතා (Zhou Enlai) පැමිණියා. එහිදී ඔවුන් ගංවතුර පාලනය, ඒ වගේම වාරිමාර්ග ක‍්‍රමවේද පිළිබඳ ව්‍යාපෘතියක් නරඹන්න නේරු අග‍්‍රාමාත්‍යතුමා ෂොවු එන්ලායි (Zhou Enlai) අග‍්‍රාමාත්‍යතුමා රැගෙන ගියා. එහිදී ඔහු ඒ ජලාශය පෙන්වා කිව්වා අපේ අනාගතයේ පූජනිය, වන්දනීය ස්ථාන බවට පත්වෙන්නේ මේ ජලාශයන් කියලා. හේතුව එක් පැත්තකින් ලක්‍ෂ ගණන් ඉන්දියානුවන්, චීන ජාතිකයන් මියයන, අනාථවන ගංවතුර පාලනය කිරීම, ඒ වගේම මිලියන දහස් ගණනකට ආහාර සඳහා මේ වාරිමාර්ග ක‍්‍රම ඇති වුණා. චීනය පසුගිය අවුරුදු 60 ඇතුළේ ගංවතුර පාලනය හා වාරිමාර්ගකරණය සම්බන්ධයෙන් වේලි පමණක් 60,000 කට වැඩිය හදලා තිබෙනවා. අපිට පෙනෙනවා මේ කලාපයේ අපට තිබෙන ප‍්‍රධානම ගැටළුම මේ ජලය කළමනාකරණය. නමුත් අපේ රටේ හොඳ වාරිමාර්ග ඉතිහාසයක් තිබෙනවා අපේ රජවරු අවුරුදු දහස් ගණනක සිට එම කටයුත්ත සිදුකර තිබෙනවා.

ඒ වගේම මේ භූමිය ඓතිහාසික භූමියක්. මුල්ලේරියා මහාසටන සිදු වූ මහා වෙළ. පෘතූගීසින් පරාජයට පත් කළ ස්ථානය මේ ස්ථානය. මේ ස්ථානයේ අනාගත දියුණුව අපේ මේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ අපේ මාතෘභූමියේ සියළුම දෙනා වෙනුවෙන් කැපවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ දියුණුවට තිබෙන එක බාධාව ගංවතුර. ඒ වගේම මේ ගෝලීය උණුසුම ඉහළ යාමෙන් මේ මුළු ලෝකයට බැටකන අවධියක්. විශේෂයෙන්ම ලංකාවේ ප‍්‍රදේශ ගණනාවක් අර්ධ කාන්තාර බවට පත් වෙමින් තිබෙනවා. තව ප‍්‍රදේශ ගණනාවක් අධික ජල ගැටළු මත පීඩාවට පත්වෙමින් තිබෙනවා. මේ කඩුවෙල කොලොන්නාව මේ ප‍්‍රදේශයේ ජල ප‍්‍රශ්නය මත පීඩාවට පත් වූ ප‍්‍රදේශයක්. ඒකෙන් ගලවා ගැනීම සඳහා කෙරෙන විශාල ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුනා ගන්න පුළුවන්. මීට පෙර අපි නාගලන් වීදියේ මෙවැනිම ව්‍යාපෘතියක් ආරම්භ කළා කොළඹ නගරය ගලවා ගැනීම. ඉදිරියේදී අපි උමං මාර්ග දෙකක් ඉදිකරනවා කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය කරන්න. ඒ වගේම තවත් පොම්පාගාරයක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොලොන්නාව ප‍්‍රදේශයෙත් ගේට්ටු පද්ධතියක් සහ පොම්පාගාරයක් ඉදිකරන්නත්, තැන තැන තිබෙන කුඩා කුඩා ජල සිරවීම් ගලවාගෙන විශේෂ පාලම් පද්ධති ඉඩම් සංවර්ධන සංස්ථාව සිදු කරගෙන යනවා.

ඒ වගේම මේ ස්ථානය සහ මේ අවට ප‍්‍රදේශය අපේ තාක්ෂණ නගරයේ කොටසක්. ඒ නිසා මෙම ස්ථානයට නුදුරින් ජපන් ආධාරයෙන් නිර්මාණය වන එම සැහැල්ලූ දුම්රිය පද්ධතියේ ආරම්භය සිදුවෙනවා. ඒ වගේම එයට සමාන්තරව මෙම ස්ථානයෙත් නොයෙකුත් තාක්ෂණික ආයතන ගොඩනැගෙමින් තිබෙනවා. දැනටමත් ප‍්‍රධාන තාක්ෂණික ආයතනය වූ ITI ආයතනය මේ ප‍්‍රදේශයට ඇවිත් තිබෙනවා. ඒ වගේම තවත් තාක්ෂණ ආයතන ගණනාවක් බිහි වෙනවා. අපි ඉදිරියේදී අන්තර් ජාතික මට්ටමේ පාසල් කිහිපයක් මේ ප‍්‍රදේශයේ ස්ථාපිත කරන්න දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වසර 10 ක් ඇතුළත මේ ඓතිහාසික භූමිය, මේ ජලය අපේ නගරය සුන්දර කරන, වැඩිදියුණු කරන ස්ථානයක් බවට පරිවර්ථනය වෙයි. විශාල මධ්‍යම පාන්තික පිරිසක් ආකර්ෂණය කරන තැනට වෘත්තීයවේදීන් විශාල පිරිසක් ඉන්න තැනක් බවට පත්වෙයි. දැනට වැලි හොරු, පස් හොරු, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ජීවත්වන මේ ප‍්‍රදේශය වැදගත් වෘත්තීයවේදීන් රටේ ආර්ථිකයට ජවන ඇන්ජිමක් සපයන පිරිසක් බවට පත්වන ප‍්‍රදේශයක් ලෙස පරිවර්තනය වේ යැයි අපි ප‍්‍රාර්ථනා කරනවා.