එජාපය ඇතුළේ ගැටුම් නැහැ – තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විතරයි……..

0

එක්සත් ජාතික පක්ෂයේ මතභෙද නැති බවත් තම මතයන් ඕනැම අයෙකුට ඉදිරිපත්කිරිමේ අයිතිය පක්ෂය තුල ඇති බවත් එය ප්‍රජාත්‍රන්තවාදි බවත් එ ජා ප ජාතික සංවිධායක වැවිළි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක සඳහන් කරනවා.

ඊයේ (18) නුවරඑළිය වික්ටොරියා උද්‍යානයේ පැවති වසන්ත මල් දැක්ම විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“එක්සත් ජාතික පක්ෂය දැවැන්තයන්ගේ දේශපාලන පක්ෂයක්. සමහර අවස්ථාවල මේ දැවැන්තයන් අතර මත භේද ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම 1980 ගණන්වලත් මට මතකයි එක්සත් ජාකිත පක්ෂයේ දැවැන්තයන් වු පේ‍්‍රමදාස මැතිතුමා හා මාගේ පියාණන් අතරත් මතවාද ඇති වුණා.”

“මේ මත වාදවලින් කිසිසේත්ම ඒත්තු ගන්නන්න බෑ පක්ෂය දෙදරනවා කියලා. මතවාද තියෙන එක හොඳයි. ප‍්‍රශ්න ඇතිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂයක විශේෂ ලක්ෂණයක්.”

“අපේ පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්. එක මතයකට අපි ඔළුව නමලා යට වෙලා ඉන්න අවශ්‍ය නැහැ.”

“පක්ෂයේ දැවැන්තයන් වන රවී කරුණානායක මැතිතුමා හා සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මා ඉතාමත්ම අගය කරන ගරු කරන ආදරය කරන චරිත දෙකක්. ඔවුන් අතරේ යම් කිසි ප‍්‍රශ්නයක් ඇතිවෙලා නම් අපි මැදිහත් වෙලා එය විසඳාගත යුතුයි.”

“මේවා ප‍්‍රසිද්ධියේ කථා කරන්න අවශ්‍ය නෑ,  පක්ෂය ඇතුළේ සාකච්ඡා කරලා එකමුතුව කටයුතු කරන්නයි නායකතුමා ඔවුන්ට දෙදෙනාටම කථා කරලා අවවාද කරලා තියෙනවා. මමත් ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා එලෙස කටයුතු කරන්න කියලා.”

“අනාගතේදී රාජපක්ෂ කඳවුර තමයි අපගේ ප‍්‍රධාන අභියෝගය. අප පක්ෂයට එකමුතු වෙලා එක මාතවාදයකට ඇවිල්ලා ඉදිරි මාස හතර පහේ කටයුතු කිරීමට විශාල ජවයක් ඇති බව මට පැහැදිලයි.”

“මීට වඩා ප‍්‍රශ්න පොහොට්ටුවේ තියෙනවා. පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න යටකොට ඒ අපේක්ෂකයන්ට විරුද්ධව කුමාර වෙල්ගම මැතිතුමා මීට වඩා දැඩි දරුණු ප‍්‍රකාශ කරලා තියෙනවා.”

“අපි පක්ෂයක් හැටියට අපේක්ෂකයෙක්ව තෝරලා ඒ අපේක්ෂකයව ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය තෝරන  ඕනෑම අපේක්ෂකයෙකුට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක පැහැදිලිව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා.”