ජන වාර්ගිකත්වය ආගම්වාදය නොසලකා සෑම ශ්‍රී ලාංකිකයකුගේම අයිතීන් වෙනුවෙන් සියලු දෙනාම එක් විය යුතුයි!

0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇතැමුන් තුළ වර්ගවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයන් නිකුත් කරමින් එම සංවිධානය පවසා සිටින්නේ අසත්‍ය තොරතුරු පැතිරයාම වැළැක්වීම රටේ සියලුදෙනාගේ වගකීමක් බවයි.

රටේ පවතින මෙම තත්ත්වය අයහපත් ආකාරයට වර්ධනය විමට ඉඩදිය යුතු නොමැති බවත්  ඇතැම් අවස්ථාවල දේශපාලන, ආගමික වශයෙන් සහ ජනතා නියෝජිතයන් අතර වෛරීය මෙන්ම ප්‍රණ්ඩත්වය ඇති වන ආකාරයෙන් අදහස් හුවමාරු වන බවත් එම සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකාව දැන් සිටින මේ අවදානම් තත්ත්වයේදී රටක් ලෙස තිරසර සාමයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය දී ක්‍රියා කළ යුතු බවත් අසත්‍ය තොරතුරු පැතිර යාම හේතුවෙන් රටේ අනාරක්ෂිත භාවය හා ප්‍රචණ්ඩත්වය වර්ධනයවීම වැළැක්වීම රටේ සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් එම නිවේදනය සඳහන් කරනවා.

“ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය හමුවේ සියලු ප්‍රජාවන්ගේ අයිතිවාසීන්ට ගරු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කළ යුතුයි. එමෙන්ම අපරාධකරුවන් හා ප්‍රචණ්ඩක්‍රියාවලට පොළඹවන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි. දැන් එළඹී තිබෙන්නේ එකට එකතු වී ප්‍රජාව අතර විශ්වාසය යළි ගොඩනැගීමයි. ජන වාර්ගිකත්වය ආගම්වාදය නොසලකා සෑම ශ්‍රී ලාංකිකයකුගේම අයිතීන් වෙනුවෙන් සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.” එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරනවා.