පටු දේශපාලන අරමුණු වලට රැවටෙන්න එපා…… සිහියෙන් කටයුතු කරන්න……..

0

ඇතැම් පුද්ගලයින්ගේ පටු උවමනාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.

මාධ්‍ය වෙත (15) නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රි ලාංකිකයන් හැටියට අප කළ යුත්තේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කිරීම බවයි.

2019.05.15

 ප්‍රවෘත්ති කතෘ/අධ්‍යක්ෂ,

මාධ්‍ය නිවේදනය

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට තුළ ඇති වී තිබෙන තත්වය ඉතාමත් කණගාටුදායකය. පාස්කු ඉරිදා එල්ල වූ මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය මා විසින් දැඩිව හෙළා දකිනු ලබනවා. අන්තවාදී සුළුතර මුස්ලිම් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ආරක්ෂක අංශ සිදු කළ පරීක්ෂණවලදී මනාව තහවුරු විය. ඒ අනුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ මෙරට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව කටයුතු කරමින් සිටී.

එවැනි පසුබිමක් යටතේ අන්තවාදී සුළුතරයකගේ උවමනාවට හලාවත, වාරියපොළ, මිනුවන්ගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගැටුම්කාරී තත්වයක් පැන නැගුණි. මුස්ලිම්, දෙමළ හෝ සිංහල කිසිදු අන්තවාදයක් මා අනුමත නොකරමි. මෙවැනි තත්වයන් දිගින් දිගටම උත්සන්න වුවහොත් 83 ඇති වූවා වැනි අවාසනාවන්ත සිදුවීම්වලට අපට මුහුණදීමට සිදුවේවි. එහිදී අසරණ දෙමළ මිනිසුන්ට පහරදීම හේතුවෙන් එය යුද්ධයක් දක්වා වර්ධනය විය. එමනිසා මුස්ලිම් ජනතාවට පහරදී ඔවුන්ගේ දේපළ විනාශ කිරීම තුළින් එවැනි අවාසනාවන්ත සිදුවීමක් නැවත සිදුවිය හැකිය. සියළු මුස්ලිම් ජනතාව අන්තවාදීන් නොවන බවද අප වටහා ගත යුතුය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මා මාගේ දිස්ත්‍රික්කය වූ නුවරඑළියේ සියළුම ආගමික නායකයින්, පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, වැවිලි සමාගම් නියෝජිතයින්, දේශපාලන නියෝජිතයින් කැඳවා දිස්ත්‍රික්කය තුළ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සාමකාමීව කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම අගරදගුරුතුමන්, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, විපක්ෂ නායකතුමාත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මාගේ අදහසත් අප සියළු දෙනා මෙම ඉල්ලීමට එකඟව කටයුතු කළ යුතු බවයි.

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට ආර්ථකය පසුබෑමට ලක්විය. යුධ ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතියද පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමග මෙරට ආර්ථිකය මෙන්ම ජන ජීවිතයද සම්පූර්ණයෙන්ම අඩාල විය. ශ්‍රී ලාංකිකයන් ලෙස අප කටයුතු කළ යුත්තේ මෙම තත්වයෙන් නැගීසිටීම සඳහායි. එකිනෙකා ඇණකොටා ගැනීම තුළින් සිදුවන්නේ මෙරට ජන ජීවිතය මෙන්ම ආර්ථිකයද අර්බුදකාරී තත්වයකට යොමු වීමයි.

මෙරට වතුකරයේ ජීවත්වන ලක්ෂ 15ක පමණ දමිළ ජනතාවගේ නායකයා ලෙසත් අමාත්‍යවරයෙකු ලෙසත් පුරවැසියෙකු ලෙසත් මා මෙරට සියළුම ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ ඇතැම් පුද්ගලයින්ගේ පටු උවමනාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙසයි.

මෙයට – විශ්වාසී,

පලනි තිගාම්බරම් (පා ම – නුවරඑළිය)

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

නායක – ජාතික කම්කරු පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය

නියෝජ්‍ය නායක – දමිළ ප්‍රගතිශීලී සංධානය