රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය…….

0

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත්, සිංහල ජාතිය බිහිවූ බවත් ථෙරවාදී බුද්ධාගමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ගාල්ල, තෙල්වත්ත, පුරාණ තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී අද (18) පැවති උත්සවය අමතමින් අගමැතිවරයා සඳහන් කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බුදුන් වහන්සේගේ ධර්මයට මුල්තැන දිය යුතු බවයි.

“මේ රටේ අපි බුදුන් වහන්සේගේ ධර්මය ආරක්‍ෂා කළා. තෙරුන් වහන්සේලාගේ ධර්මය ආරක්‍ෂා කළා. තෙරුන් වහන්සේලාගේ ථෙරවාදී ධර්මය නිසා අපේ රටේ ශිෂ්ටාචාරය බිහිවුණා. සිංහල ජාතිය වර්ධනය වුණේ ඒ ශිෂ්ටාචාරය පදනම් කරගෙනයි.

බුදුන් වහන්සේගේ ධර්මය පදනම් කර ගෙන අපේ රටත්, ජනතාවත් බිහිවුණා. රටේ පැවැති සාම්ප්‍රදායික චාරිත්‍ර හා වෙනත් ආගම්වල චාරිත්‍ර එතැනට බලපෑවා. නමුත් එහි හරය වන්නේ බුදුන් වහන්සේගේ ධර්මයයි. ඒ අනුව අපේ රටේ මේ ශිෂ්ටාචාරය අප පිළිගත යුතුයි.

කෝට්ටේ යුගය ගැන කතා කරන විට වැදගත් විහාරස්ථාන දෙකක් ලෙස තොටගමුව හා වීදාගම හැදින්විය හැකියි. මේ විහාරස්ථාන දෙකම පෘතුගීසීන් විනාශ කළා. ගොඩනැගිලි, බුද්ධ ප්‍රතිමා එලෙස නැති කළ හැකියි. බෝ ගස් කපා දැමිය හැකියි. එහෙත් අපේ සිතේ සහ මනසේ තිබෙන දේ නැති කරන්න බැහැ.

ඒ නිසා යළිත් මෙරට තෙරුන් වහන්සේලාගේ ධර්මය දියුණු වුණා. එය ඉදිරියට ගෙන යෑමට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කළ සේවය සිහිපත් කළ යුතුයි. ඒ අනුව යමින් මේ රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා අප සියලූ දෙනා කැපවී ක්‍රියා කළ යුතුයි.” අගමැතිවරයා සඳහන් කර සිටියා.