ප්‍රහාරයට මාසයයි………. ජනපති කමිටු වාර්තාව කෝ………?

0

පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනයට ජනාධිපති පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ වන විට අස්ථාන ගත වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරු මන්ත්‍රි රොෂාන් රණසිංහ පවසනවා.

පොළොන්නරුවේ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන හොයන්න ජනාධිපතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කලා. දැන් මේ වෙලාවෙ අපි අහනවා ඒ පත්කල ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව කෝ ? ඒ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව යටගිහිල්ලා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

මෙම ත්‍රි පුද්ගල ජනාධිපති කමිටුව ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිංගප්පූරුවේ සිටි ජනාධිපතිවරයා විසින් පත් කළ අතර පසුව ලංකාවට පැමිණි ජනාධිපතිවරයා පවසා සිටියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති කමිටු වාර්තාවක් සතියක් තුළ ලබා දීමට තමා නියෝග කොට ඇති බවත් ය. අද (21) වන විට ප්‍රහාරය සිදුවී මාසයක් ගත වූවද ජනාධිපති පොරොන්දු වූ පරිදි කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට හෝ මාධ්‍ය වෙත හෝ ජනතාව වෙත ඉදිරිපත් නොවීම නම් ගැටළුවකි.