අගමැතිගේ පක්ෂ නායකත්වයට අභියෝග කළ රීට් පෙත්සම විසිවෙයි…….

0

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල විසින් ගොනු කොට තිබූ රීට් පෙත්සම සලකා බැලීමකින් තොරව ඉවතට දැමීමට අභියාචනාධිකරණය අද (21) තීරණය කළා.

අභියාචනාධිකරණ විනිසුරු ශිරාන්  ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ මෙම රිට් පෙත්සමට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවය.

මෙහිදි ජනාධිපති නීතිඥ කේ.කනගීස්වරන් පවසා සිටියේ මෙම පෙත්සම ගොනු කිරීමේදී පෙත්සම්කාරිය සහතික නොකරන ලද  ජායා පිටපත් සහිත ලේඛන මත පදනම් කර ගෙන ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති වල තුන්වන වගන්තිය අනුව මුල් පිටපත් නොමැති ලේඛන සලකා බැලිය නොහැකි බැවින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසට ඔහු අධිකරනයෙන් ඉල්ලා සිටියා. රනිල් වික්‍රමසිංහ එළඹ ඇතැයි කියන ගිවිසුමට අදාල ලේඛනය ඉදිරිපත් කිරීමට ද පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහගේ පවුලේ සමාගමක් වන ලේක් හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිසර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකු බවත් එම ආයතනය පුද්ගලික ලාභ අපේක්ෂාවෙන්  රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම් වලට එලඹ ඇති බව පෙත්සම්කාරිය පවසයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) (e) ව්‍යවස්ථාව අනූව රජය සමග ව්‍යාපාරික ගිවිසුම් වලට එළඹීම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වලක්වා ඇති බව පෙත්සම්කාරිය පවසයි .

මෙම පෙත්සමෙන් රනිල් වික්‍රමසිංහ , එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම් , පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පාර්ශවයන් කිහිපයක් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත