නැව් සුක්කානමත් ධර්ම චක්‍රයත් හඳුනාගත නොහැකි පොලිස් නිලධාරීන් නීතිය හා සාමය රකින්නේ කෙසේද ?

0

ධර්ම චක්‍රය යැයි පවසා නැව් සුක්කානමක් සහිත ඇඳුමක් ඇඳ සිටි කාන්තාවක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳව වහාම පියවරක් ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ සඳහන් කරන්නේ මේ පිළිබඳව ලිඛිතව පොලිස්පතිවරයා වෙත දන්වා ඇති බවයි.

හසලක කොලොන්ගොඩ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන එම් . ආර් මසහිමා නැමති මෙම කාන්තාව පසුගියදා මහියංගනය පොලිසිය වෙත ලැබුනු ඔත්තුවක් මත එම පොලිසිය විසින් හසලකදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව පොලිසිය විසින් ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR ( International Covenant on civil and political rights ) යටතේ චෝදනා ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.  ඇය අත් අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකු විසින් ඇයගේ ඡායාරූප ගෙන ඒවා වට්ස්ඇප් මාර්ගයෙන් ඉහළ නිලධාරියෙකුට යොමු කොට ඒ නියමයෙන් ඇය අත් අඩංගුවට ගෙන ඇති බව ඇයගේ සැමියා වන අබ්දුල් මුනාෆ්  සඳහන් කර තිබේ.

නැව් සුක්කානමත් ධර්ම චක්‍රයත් වෙන්කොට හඳුනාගත නොහැකි පොලිස් නිලධාරීන් නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ  කෙසේද යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රශ්න කර සිටියි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියංවංශ මහත්මිය පෙන්වා දුන්නේ එම කාන්තාවට එරෙහිව  මහාධිකරණයකින් පමණක් ඇප ලබාගත හැකි ආකාරයට චෝදනාවක් ගොනු කිරීම කිසිසේතුම අනුමත කළ නොහැකි බවයි. මෙම චෝදනා ගොනු කිරීම සිදුකර ඇත්තේ පොලිසිය විසින් වන බවත් කරුණු සොයා නොබලා චෝදනා ගොනු කර ඇති  එම පොලිස් නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඇය කියා සිටියි.

නාවික සළකුණු සහිත ඇඳුම් ලෝකයේ ජනප්‍රිය විලාසිතාවක් බවත්, ඇතැම් රටවල නාවික සළකුණු, ඒ හා බැදුනු ඇඳුම්,ආදිය අලෙවි කරන අලෙවිසැල් පවා ඇති බවත් ඒ අනවබෝධයකින් කටයුතු කරන මෙවැනි පොලිස් නිලධාරීන් නිසා සමාජය තුළ අනවශ්‍ය ගැටුම් හා අර්බුද නිර්මාණය කරන බවත්, බරපතල ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩිදුරටත් අවධාරණය කරයි.