ත්‍රස්තවාදය මැඩලූ ආරක්ෂක අංශ වලට මාධ්‍ය නිසි ගෞරවය දුන්නේ නෑ……!

0

විදේශ ආරක්ෂක අංශ පවා විමතියට පත් කරමින් ඉතා ඉක්මනින් ත්‍රස්තවාදය පිළිබඳව සියළු විස්තර සොයා ගත් ලංකාවේ ආරක්ෂ අංශ වෙත හිමි ගෞරවය නිසි පරිදි ලබා දීමට මාධ්‍ය කටයුතු නොකිරීම පිළිබඳව තමා ඉතා කණගාටුවට පත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (04) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වූ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කොට සිටියා.

එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා,

“පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාසයක් ගත වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට හැකි වුණා. ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර අනෙක් සියලූ දෙනා මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා. මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඊට සම්බන්ධ සියලූ දෙනා මාසයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වීම ලෝක වාර්තාවක් ලෙස හැදින්විය හැකියි. එවැනි සාර්ථකත්වයක් ලබාගත් රටවල් තිබෙන්නේ ඉතා ස්වල්පයක් පමණයි.

නමුත් මේ සම්බන්ධයෙන් මා තුළ එක් කණගාටුවක් තිබෙනවා. එනම්, මෙතරම් ඉක්මනින් මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත් රටේ ආරක්‍ෂක අංශ වෙත ඔවුන්ට හිමි ගෞරවය ලබාදීමට අපේ රටේ මාධ්‍ය කටයුතු නොකිරීමයි. මෙම ආරක්‍ෂක කටයුතු සිදු කළ පොලිසිය, බුද්ධි අංශ ඇතුලූ සියලූම ආරක්‍ෂක අංශ වෙත ප්‍රශංසාව හා ගෞරවය ලබාදීමට රටේ මාධ්‍ය පැකිලෙන්නේ මන්දැයි මා දන්නේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් සිදු කළේ විශේෂ සේවාවක්…

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවල් මේ සම්බන්ධයෙන් මා සමඟ පැවසූයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු මෙතරම් ඉක්මනින් සොයාගත් වෙනත් රටක් නොමැති බවයි.

ප්‍රහාරය සිදුවූ දින දහවල් කාලයේ දී මීට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි මම උපදෙස් ලබා දුන්නා. එදිනම පස්වරුව වන විට අපේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අහිමි කරගනිමින් වුණත් එම ත්‍රස්තවාදීන් පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වුණා. එම සිදුවීමෙන් සතියක් ගත වීමට පෙර ඊට සම්බන්ධ ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

නමුත්, මෙතරම් විශිෂ්ඨ සේවයක් සිදු කළ රටේ ආරක්‍ෂක අංශ වෙත එම ගෞරවය හා ප්‍රශංසාව ලබාදීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි මටත්, ජනතාවටත් විශාල ප්‍රහේලිකාවක් වී තිබෙනවා. එම නිසා මෙම සිදුවීමේ ද නම සඳහන් නොවූ වීරයන් වන්නේ අපේ ආරක්‍ෂක අංශ බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.”