අතන මෙතන කසල එපා………. නිසි තැනටම දෙන්න…….

0

රට පුරා කසල කඳු 300කට අධික ප්‍රමාණයක් ඇති බවත් ඒවා පාලනය බාර ගැනීමට කිසි ආයතනයක් නොමැති බවත් මහනගර හා බස්නාහිර පළාත් සභා සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

ඊයේ (05) මීතොටමුල්ල නාගරික උද්‍යානය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඔවුන්ගේ කැමැත්තකින් තොරව මුතුරාජවෙල තවත් කසළ කන්දක් ඇතිකරමින් යන බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2017 අපේ‍්‍රල් 14 වෙනිදා නිවසේ පැවති සිංහල අවුරුදු චාරිත‍්‍ර ඉටුකර කොළඹ පැමිණෙන කොට ජනාධිපතිතුමන් විසින් මීතොටමුල්ල කසල කන්ද නාය ගහින් සිදු වූ ඛේදවාචකය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එම ව්‍යසනය පිළිබඳව පැවත්වූවා. කියන්න කණගාටුයි, මේ කසළ කන්දෙන් හම්බකරගත් අය, කසළ කන්දට කුණු ගෙනවිත් දාන අය, ඒවට වගකියන්න  ඕනේ අය මැතිවරණයේදී මේ කසළ කන්ද ඉවත් කරනවා කියලා ඡන්ද ගත් අය කවුරුවත් එම සාකච්ඡාවේ හිටියේ නැහැ. අන්තිමට කසළ කන්ද යුධ හමුදාවත් සමග තාවකාලිකව පාලනය කරන්න අපි භාරගත්තා.

මුලදී මේ පිළිබඳව විදේශීය ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වුවත් එහිදී ඇතිවන ප‍්‍රමාදය පිළිබඳව සලකා බලා නාගරික සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළා මේකට උදව් කරන්න කියලා. ඒ අයත් අපට ලබාදුන්නේ නැහැ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය මෙහි වගකීම භාරගෙන මෙයට මුදල් වියදම් කරලා සංවර්ධනය කරන්න පටන් ගත්තේ. මෙය නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක්. මේ ඉඩම සංවර්ධනය කර විකුණුවා නම් මිලියන දෙතුන් දාහක් නාගරික සංවර්ධන අධිකාරියට  සොයා ගැනීමට හැකිව තිබුණා.  කොළඹ නගර සභාව සහ අනෙකුත් අය මෙතනට කසළ ගෙනවිත් දාලා එම ඉඩම සම්පූර්ණයෙන් විනාශ කළා.  ඒ අය ඒ වෙනුවෙන් සත පහක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙව්වේ නැහැ අද වෙනකං. ඒ විතරක් නෙමෙයි මේ කන්ද මනාව කළමනාකරණය කරනවා කියලා ප‍්‍රකෝටි ගණන් ධනය වැය කළා. හැබැයි කන්දේ කිසිම කළමනාකරණයක් නොතිබිච්ච බව කන්ද කඩා වැටීමෙන් පෙනුණා. ඒ සල්ලි ගියේ කාගේ සාක්කුවට ද කියන එක මේ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ ඉදිරිපත් වූ විනිසුරු නානායක්කාර මහත්මයාගේ වාර්තාවේ තිබෙනවා. ලැජ්ජා නැතිකම කියන්නේ 34 දෙනෙක් ඝාතනය වෙලා බිලියන ගානක ව්‍යසනයක් මේ ඉඩමට කරලා, වාර්තාවක් නිකුත් වෙලා තිබෙනවා තවමත් එක් අයෙකුටවත් දඬුවමක් දෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ගැන ඇත්තටම අපි ලැජ්ජා විය යුතුයි.

ඊ ළඟට කොළඹ කුණු ගෙනයන්න තැනක් නැති උනා. අද ඉන්නවා ලොකු වීරයෝ, හිටපු දේශපාලකයෙක් මේක විසඳන්න, කුණු කන්ද එංගලන්තේ ගෙනයන්න හිටියයි කියන. නැව් වලින්ද, ගුවන් යානයකින්ද මන් දන්නේ නැහැ. මම එතුමාට කිව්වා මේ මීතොටමුල්ලේ නෙමෙයි කැළණියේ තියෙනවා, පුළුවන්නම් එයින් ටොන් දහයක් ඇදලා පෙන්වන්න කියලා එංගලන්තයට. මේ වගේ තක්කඩි හිටියා මේවා පිටිපස්සේ. අන්තිමට මේ කිසිම සම්බන්ධයක් නැති නාගරික සංවර්ධන අධිකාරියට, ඉඩම් සංවර්ධන සංස්ථාවට මේ වගකීම බාරගත්තා. ඒ භාර ගත්තේ දේශපාලන ප‍්‍රශ්නයක් හින්ද නෙමෙයි, මොකද අපි මේක භාර ගන්නකොට 2017 ජූලි 07 වෙනිදා හැමෝම උත්සාහ කරලා තිබුණා මේක පාලනය කරන්න. ආරක්‍ෂක අංශ යොදවගෙන. සමහරු මාධ්‍ය අංශ ඉස්සරහා කයිවාරු ගැහුවා. පැය විසිහතරෙන් මේක විසඳනවා කියලා. නමුත් අපි දැක්කේ මොකද්ද, කොළඹ නගරේ හැම තැනම කුණු කඳු ගොඩගැහුණා. කොළඹ කුණු පිටට ගෙනයනකොට ආගමික නායකයෝ, අනෙක් අය සුපුරුදු පරිදි කොළඹ කුණු අපට එපා කියලා පෙළපාලි ගියා. අධිෂ්ඨානයක් තිබුණේ නැහැ කොළඹ කුණු ප‍්‍රශ්නය විසඳන්න. කුණු ටික එකතු කර ගන්න බැරිව දහස් ගණන් ඩෙංගු රෝගියෝ බිහි උනා. ඉස්පිරිතාලවලට ඇතුල්වන තැන ඉඳන්  රෝගීන් ගොඩ ගැහුණා. අන්න ඒ මිනිස්සු පිළිබඳව අනුකම්පාවෙනුයි අපි මේක භාර ගත්තේ.

අද හුඟ දෙනෙක් ඉන්නවා රජයේ අරමුදල් යොදවලා යම් යම් දේවල් කරලා ඒවා මහා විශ්ම කර්ම වැඩ හැටියට පේන්නේ. මේ නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව භාණ්ඩගාරයට අපි ණය නැහැ. අපි අපේ ආයතන ලාභ උපයන ආයතන හැටියට ගෙනයන්නේ. දේශපාලන පත්වීම්, සිකුරිටි හරි, කම්කරු හරි, ලිපිකරු හරි කිසිම දේශපාලන පත්වීමක් අපි දීලා නැහැ. අපටත් පුළුවන් දහස් ගණන් ආධාරකාරයින්ට මේවයේ රස්සා දෙන්න. මොකද අපි ලාභ උපයලා ශක්තිමත් ආර්ථික තත්වයකට පත් කරලා තිබෙන්නේ. ඒ බාල දේශපාලනය අපි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ ජනතාවගේ මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න තීරණය කළා සද්ධ බද්ධ නැතිව. කිසිම සද්ධබද්ධයකින් තොරව අපි එම කටයුත්ත ඉටු කළා.

කොළඹ ලස්සනට තියා ගත්තා මීතොටමුල්ලේ දැවැන්ත කුණු කන්දක් හදලා. අපි සති දෙකෙන් කොළඹ නගරයේ කැළි කසළ එකතු කිරීම විධිමත් කළා. කිසිම යුධ හමුදාවේ හෝ ආරක්‍ෂක අංශවල අයව පාරට දාලා කුණු එකතු කරලා නෙමෙයි. අපි විධිමත් වැඩපිළිවෙලක් යටතේ කොළඹ නගරයේ කසළ වෙන් කරන්න, එකතු කරන්න ඒ සඳහා තිබෙන පුද්ගලික සමාගම් සහ කොළඹ නගර සභාවේ සේවකයින් විධිමත් වැඩපිළිවෙලක් යටතේ කොළඹ නගරයේ කසළ වෙන් කරන්න කසළ එකතු කරන්න ඒ සඳහා තිබෙන පුද්ගලික සමාගම් සහ කොළඹ නගරයේ සභාවේ සේවකයින් යොදවා ගන්න අපි කටයුතු කළා. ඒ අනුව එම කටයුත්ත අපි විධිමත් කලා. ඒ වගේම එම කසළ අපි වතුරවලවල්වල, කූඹුරුවල ගොඩගසන්න ගියේ නැහැ. අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් කෙරවලපිටියේ කසළ අංගනයක් හදලා අවුරුද්දක කාලයක් අපි මෙම ප‍්‍රශ්නය විසඳලා දෙන්න කටයුතු කළා ඒ අයට තැනක් සොයා ගන්නකන්. දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා කොළඹ නගර සභාව  කිසිම වගකීමක් ගත්තේ නැහැ තමන්ගේ කසළ ගැනවත්. අනුන්ගේ කසළ ගැනවත්. නගර සභාව පාලනය කරන අයවත්, පළාත් සභාවවත්, පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයවත් මේ ගැන වගකියන කිසිම ආයතනයක් මෙහි වගකීම භාර ගත්තේ නැහැ. ඒ ගැන කණගාටුවෙන් සඳහන් කළ යුතුයි. ඒ අනුව අපි භාර ගත්තා විධිමත් කසළ රැඳවුමක් හදන්න. අපි කසලින් විදුලිය නිපදවන බලාගාර දෙකකට ටෙන්ඩර් කැඳවලා ආයතන දෙකකට බලපත‍්‍ර ලබා දුන්නා. මොකද උනේ 17 වතාවක් කැබිනට් එකට යන්න උනා අවසර ගන්න. අමාත්‍යාංශ ගනනාවකට ඇදි ඇදි ගිහින් අන්තිමට පළාත් සභාවෙන් කිව්වා ඒ කසළවලට සල්ලි දෙන්න බැහැ කියලා. මේ විදිහට ඉතාමත්ම දුෂ්කරතා ඇතිකළා මිසක් කිසිම කෙනෙක් මේ ප‍්‍රශ්නේ විසඳන්න වගකීමෙන් කටයුතු කළේ නැහැ. කසළ යන්ත‍්‍රවලින්, පස්වලින් හම්බුකරගත්තා මිසක් තමන්ගේ දරු දැරියන්ට මේ ප‍්‍රශ්නේ විසඳීම සඳහා කිසිම කෙනෙක් නිශ්චිතව දායක වුනේ නැති බව කණගාටුවෙන් කියන්න  ඕනේ. මේවා ආණඩුව කරන්න  ඕනේ වැඩ. මේක නාගරික සංවර්ධන අධිකාරියට අයිති වැඩ නෙමෙයි. නමුත් අපි මෙය ජනතාව වෙනුවෙන් කළේ.

ඊ ළඟට අපි අරුවක්කාලූවේ සනීපාරක්‍ෂක කසළ අංගනය ඉදිකිරීමේ වැඩපිළිවෙලක් දියත් කළා. මොකද අද වෙලා තිබෙන්නේ. උපවාස, විරෝධතා, කොළඹ කුණු එපා කියලා. නමුත් අපි අද එහි පළමු පියවර අවසන් කර තිබෙනවා.  ඕනෙම කෙනෙකුට කසළ ගෙනිහින් විද්‍යාත්මකව තැන්පත් කරන්න පුළුවන් තැනක් අපි හදලා තිබෙනවා. විද්‍යාත්මකව ඉංජිනේරු මහත්වරු විසින් තීරණය කරන ඒ විද්‍යාත්මක ක‍්‍රමවේදයට අනුව තමයි අරුවක්කාලූවේ කසළ රඳවන්නේ. අපි අමතක කරන්න හොඳ නැහැ විරෝධතා නිසා මේ රට අවුරුදු 15 ක් විදුලිය නැතිව දුක් වින්දා. මීතොටමුල්ලේ,බ්ලූමැන්ඩල්වල මේ හැම තැනම කසළ කඳු ගොඩගැසුනේ දේශපාලකයින්ගේ අරයගේ මෙයාගේ විරෝධතා නිසා. අද රට පුරා 300 කට අධික කසළ කඳු තිබෙනවා. මේ කවුරුවත් මේ වගකීම භාර ගන්න ඉදිරිපත් වූයේ නැති නිසා තමයි අපි එම වගකීම භාර ගත්තේ. මට විරුද්ධව උපවාස කලා, පෙළපාලි ගියා පෙත්සම් ගැහුවා. ඒ නොයෙක් දේවල් කළා. අද ඒක අපි අවසන් කර තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අද ඒ කරදියානේ කසළ කන්දක් හදලා මේ වගේම විනාශයක් කරගෙන යනවා එම ස්ථානයේ. ඒ වගේම ගිය අවුරුද්දේ සිටම අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව කොළඹ නගර සභාවට  කිව්වා තවදුරටත් කසළ බැහැ කියලා. කොළඹ නගර සභාවට අද වගකීමක් නැහැ. දැන් මොකද වෙලා තිබෙන්නේ අපේ කැමැත්තකින් තොරව අද කසළ ගෙනිහින් දාලා එතනත් කසළ කන්දක් හදාගෙන යනවා. තවත් විනාශයක් ඒ මුතුරාජවෙල පරිසරයට කරගෙන යනවා. හැමිල්ටන් ඇළට කරගෙන යනවා. ඒ සාපය ඒ සියළු දෙනාටම යනවා. තවත් ඩෙංගු රෝගීන් හැදිලි මිනිසුන් මෙතන දුක්විඳනවා දකින්න බැරිකම නිසා තමයි අපි ඒ ගේට්ටු ඇර තිබෙන්නේ. එහෙම නැතිව දේශපාලන වශයෙන් බයවෙලා නෙමෙයි කියන එක අපි කියන්න  ඕනේ. මෙතන මේ දහස් ගණන් රෝගීන් ඇතිවෙලා කොළඹ කුණු වෙලා යන එක දකින්න බැරිව තමයි අපි ඒ ගේට්ටු ඇරලා තිබෙන්නේ.

 කොළඹ නගර සභාවට, පළාත් සභාවට ඒ වගේම පළාත් පාලන අමාත්‍යාංශයට අපි බොහොම වගකීමෙන් කියනවා වහාම කසළ ප‍්‍රශ්නේ විසඳා ගන්න අපි තැනක් හදලා තිබෙනවා එතනට ගිහින් කුණු බාර දෙන්න. ඒක විද්‍යාත්මක කසළ රඳවනයක්. දේශපාලකයින්ට සහ වෙනත් අයට  ඕනෙ විදිහට ඒවා තීරණය කරන්න දෙන්න බැහැ. ඒ නිසා ඒ තීරණ අරගෙන කටයුතු කරන්න. එහෙම නැත්නම් අපටත් සිදුවෙනවා තීරණ අරන් කටයුතු කරන්න. මොකද මේ හැම එකක්ම අපි පිට දාලා අපිව විවේචන කරන්න මිසක්, අපිව විචාරය කරන්න මිසක් සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා නැහැ.

අද ජාත්‍යන්තර පරිසර දිනය, වායු දූෂණය තමයි මෙවර තේමාව. මෙම කුණු කන්දෙන් නිකුත් වෙන මීතෙන් විශාල වායුදූෂණයක් ඇති කරනවා. අද එය පාලනය කරන්න අපේ නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාකර තිබෙනවා. ඒ වගේම මම මේ ප‍්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ ස්ථානයේ කිසිම දේශපාලන මැදිහත්වීමක් සිදු කරන්න ඉඩ දෙන්න එපා. මේ ස්ථානයට විධිමත්ව නාගරික සංවර්ධන අධිකාරියට, මම මේ ඇමති ධූරයේ සිටියත් නැතත් මේ කටයුත්ත කරන්න ඉඩ දෙන්න. මෙමගින් මේ පළාතට සම්පූර්ණ ආලෝකයක් ලැබෙනවා. පරණ පාර අලූතෙන් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ අංගොඩ ප‍්‍රදේශය හරහා සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ලෙන්ම මත්කුඩුවලින් දුප්පත් කමින්, පැල්පත්වාසීන්ගෙන් පිරිච්ච මේ ප‍්‍රදේශය විධිමත් නගරයක් හැටියට, නම්බුකාර තැනක් හැටියට පරිවර්තනය කරන්න අපි කටයුතු කර තිබෙනවා. මේ කන්ද උඩට නැගලා බලන්න ගෙවල් කීදාහක් නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරලා තිබෙනවාද කියලා. ගෙවල් 15,000 ක් ඉදිකර තිබෙනවා. 1958 සිට 2015 වෙනකන් සියළුම ආණ්ඩු, සියළුම නායකයෝ ගෙවල් 9,000 යි හැදුවේ පැල්පත්වාසීන්ට. මේ වසර තුනට අපි පහලොස්දාහක් හදලා තිබෙනවා. තව 8,000ක් ඉදිකරන්න මේ වසරේදී අපි පියවර ගන්නවා. මම කණගාටුවෙන් කියන්න  ඕනේ ඒ කටයුත්තටත් හරි හමං ශක්තියක් රජයෙන් ලැබුනේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට සිදු වුනා ඒකට කර තියලා කටයුතු කරන්න.

අපේ ආයතන අපි විධිමත්ව පවත්වාගෙන ගිහින් ඒවයින් උපයන ලාභ අපි ගෙදර ගෙනිහින් නැහැ. අපේ දරුවන්ට මන්දිර ගන්න කියලා නැහැ. අපි කොන්ත‍්‍රාත් කරුවන්ගෙන් මුදල් අරගෙන අපේ එකවුන්ට්වල දාගෙන නැහැ අපි කවුරුවත්. අපි ජනතාවට ඒවා ආපසු ලබාදී තිබෙනවා. එමනිසා මේ ස්ථානය විධිමත් නාගරික උද්‍යානයක් වනකොට මේ අවටත් විධිමත් නේවාසික ස්ථානයක්, විධිමත් වාණිජ මධ්‍යස්ථානයක්, මේ කොලොන්නාවට අත්‍යාවශ්‍ය නාගරික මධ්‍යස්ථානයක් ගොඩනගා ගන්න නගර සභාව, ඒ වගේම පළාත් සභාව, ඒ නාගරික සංවර්ධන අධිකාරියට උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ කුණු කන්ද අයින් කරනවා මට මනාප දෙන්න කියලා නැහැ. අපි මනාප බලාගෙන වැඩ කරලත් නැහැ. අපට මනාප අවශ්‍යත් නැහැ. අවශ්‍ය මේ ජනතාවගේ මේ දුක්ගැනවිල්ල විසඳීම පමණයි. ඒ නිසා මම හිතනවා මේ ප‍්‍රදේශවල පරිසරවේදීන්ට අනෙකුත් සියළු දෙනාට මේ ප‍්‍රශ්නයට විවෘතව මැදිහත් වෙන්න මැදිහත් වෙලා වහාම කොළඹ කසළ අරුවක්කාලූවට හෝ විධිමත් තැනකට ගෙනයන්න කටයුතු කරන්න කියලා සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. දේශපාලන, එහෙම නැත්නම් ජාතික, ඒ මට්ටම්වලට ඉහළින් මේ පාරිසරික ප‍්‍රශ්නය අපේ දරුවන් වෙනුවෙන් විසඳීමට ඉදිරිපත් වෙමු”