HE මට ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කිව්වා…..! – පොලිස්පති පූජිත් ජයසුන්දර

0

2018 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පැවති ආරක්ෂක කවුන්සිලය රැස්වීමෙන් අනතුරුව පැවති රැස්වීම් සඳහා තමන් සහභාගි විය යුතු නැතැයි ජනාධිපතිවරයා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යංශයේ එවක ලේකම් කපිල වෛද්‍යරත්න තමන්ට දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා සිටියා.

පොලිස්පති මේ බව ප්‍රකාශ කර සිටියේ අද (06) පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමිනි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර කාරක සභා සාමාජිකයින් හමුවේ දැක්වූ අදහස් මෙසේය.

පූජිත් ජයසුන්දර:

“ඔක්තෝබර් මාසයේ සිට මට ආරක්ෂක මණ්ඩලයට සහභාගි වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා.”

ප්‍රශ්නය:

“කාගෙන් ද ලැබුණේ? ලිඛිතව ද? වාචිකව ද?”

පූජිත් ජයසුන්දර:

“වාචිකව ලැබුණා. එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා වශයෙන් හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා.”

“මට දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ එදා. ඒ නිසා මම විමසීමක් කළා, එතුමාගෙන්. සර් අද ආරක්ෂක කවුන්සිලය තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා කිව්වා. මං කිව්වා දැන් හතර හමාරත් පහුවේගන යනවා, මට නම් තවම දැනුම් දුන්නේ නැහැ කියලා. එතකොට මට දැන ගන්න ලැබුණා එතුමාගේ වචනවලින් ම කිව්වොත්, ‘Sorry Pujith, I didn’t want to embarrass you. As you ask from me this is what happened. HE (His Excellency) told me not to tell you. (සමාවෙන්න පූජිත්. මට ඔබ අපහසුතාවට පත් කිරීමට අවශ්‍ය වුණේ නැහැ. ඔබ අහපු නිසයි කියන්නේ. HE කිව්වා ඔබට කියන්න එපා කියලා)

ප්‍රශ්නය:

“HE කිව්වේ කවුද?”

පූජිත් ජයසුන්දර:

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.”

එහිදී තමන් වෙනුවට තමාගේ නියෝජිතයෙකු හෝ ආරක්ෂක මණ්ඩලයට එවන්න දැයි තමන් ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ බවත් එහිදී ලේකම්වරයා “අවශ්‍ය වුණොත් දැනුම් දෙන්නම්” යනුවෙන් පිළිතුරු දුන් බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර අනාවරණය කළේය.

ඉන්පසු තමන් යළි ආරක්ෂක කවුන්සිලයට කැඳවනු ලැබුවේ, පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව 2019 අප්‍රේල් 23 වන දා බව ඔහු සඳහන් කළේ.

එහිදී අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවේ, තමන් හමුදාපති ධූරයේ කටයුතු කළ සමයේ ආරක්ෂක කවුන්සිලය නිශ්චිත දිනයක නිශ්චිත වේලාවකට පැවති අතර ඒ සඳහා කිසිවෙකුට ආරාධනා නොකළ බවය.

එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේ, තමන් පොලිස්පතිවරයා ලෙස ඊට සහභාගි වන සමයේ ආරක්ෂක කවුන්සිලය නිශ්චිත දිනයකදී නිශ්චිත වේලාවකට නොපැවති බවය.

එහෙයින්, රැස්වීම පිළිබඳව ආරක්ෂක ලේකම් සාමාජිකයින් දැනුවත් කළ බව ඔහු හෙළි කළා.