පාර්ලිමේන්තුව ජනපති බලතල හෑල්ලු කරන්නේ නෑ……… පාර්ලිමේන්තු කාරක සභාව ගැන වැරදි ජනමතයක් ඇති වීමට ඉඩ දෙන්නත් බෑ….!

0

පාර්ලිමේන්තුව කිසිවිටත් ජනාධිපතිතුමාගේ බලතල අභියෝගයට ලක් කිරීමට අදහස් නොකරන බව කතානායක කරු ජයසුරීය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන කතානායකවරයා පවසන්නේ එසේ වුවද පාර්ලිමේන්තුව අනුමත කළ කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක් වීමෙන් ජනතාව තුළ වැරදි මතයක් ඇති විය හැකි බවයි.

“අප්‍රේල් 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි එකගත්වයකට අනුවයි. එමෙන්ම පාර්ලිමේන්තුව සම්මත කළ නව ස්ථාවර නියෝග අනුව පැවැත්වෙන මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කිරීමද පාර්ලිමේන්තුව අනුමත කර තිබෙනවා.” එම නිවේදනය දක්වනවා.

“ඇමෙරිකාවේ ද මේ සදහා උදාහරණ පවතිනවා. ඇමෙරිකා මහජන කොංග්‍රසය පත් කළ කාරක සභාවක් හමුවට එරට නීතිපතිවරයා හා රහස් තොරතුරු සේවයේ අධ්‍යක්ෂවරයා කැදවා ප්‍රශ්න කරන අයුරු ලෝව පුරා මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශ කෙරුණා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර නොසිටීමට අපගේ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ඕනෑම අයෙකුට අවස්ථාව පවතිනවා. ථාවර නියෝග වලට අනුව පොදු එකගත්වයකින් ආරම්භ කළ එමෙන්ම පාර්ලිමේන්තුව අනුමත කළ ක්‍රියාදාමයක් නැවැත්වීමේ අවසන් බලය පවතින්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ අනුව විශේෂකාරක සභාවේ කටයුතු වැළැක්වීම කතානායකවරයාගේ අභිමතය පරිදි සිදු කළ නොහැකියි.” කතානායකවරයා සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරනවා.