මම වැඩ කළෙ හෘදසාක්ෂිය අනුවයි…….රටවත් ජනතාවවත් පවා දෙන්නේ නෑ…….!

0

තමන්ට ඡන්දය ලබාදුන් පාක්ෂිකයන් මෙන්ම ශ්‍රී ලංකාව කිසිදු අයුරකින් පාවා දීමට ලක් නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

අද (14) අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපානන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ හෘද සාක්ෂි අනුව නිවැරැදිව කටයුතු කර ඇති බැවින් යම් වරදක් සිදු කර ඇත්නම් ඊට සාර්ථකව මුහුණදීම සඳහා තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පසුගිය කාලයේදී මුස්ලිම් ප්‍රජාවට යම් යම් ගැටලු එල්ල වුණා. ඒ වගේම මුස්ලිම් ප්‍රජාවට වඩා රට වැදගත් යන්න අප තේරුම් ගත්තා. බුද්ධි අංශවලට මෙන්ම යුද හමුදාව ඇතුළු පරීක්ෂණ අංශවලට ඔවුන්ගේ රාජකාරි සඳහා අවස්ථාව ලබා නොදෙන බවට ඇතැමුන් චෝදනා කළා.

මේක මුස්ලිම් ඇමතිවරු ගන්නා ලද තීරණයක් නොව සියලු දෙනා ඉල්ලා අස්වීම අවස්ථාවේදී අනුව රට වෙනුවෙන් ගන්නා ලද තීරණයක්.

ඉල්ලා අස්වීම දේශපාලනික වශයෙන් මට කිසිදු වාසියක් සිදු වූ දෙයක් නොවේ. කෑගල්ල දිස්තිරික්කයේ විශාල ප්‍රමාණයක් මට ඡන්දය ලබා දුන්නා. ඒ අතරින් සිංහල ඡන්ද ප්‍රමාණය ඉතාමත්ම විශාලයි. සැබවින්ම ඔවුන්ගේ අනුමැතියකින් තොරව ඉල්ලා අසීම සුදුසු නැති බවයි මට හැඟෙන්නේ.

මෙරට මුස්ලිම් ප්‍රජාව ගෙන් සියයට අනූ නවයක්ම අන්තවාදී ක්‍රියාවන් සිදු කළ පුද්ගලයන්  මුස්ලිම් යනුවෙන් වත් හඳුන්වන්න කැමති නැහැ. ඔවුන්ට ධර්මයක් නැහැ.

අපි සිංහල රජවරුන් සමග වසර දහස් ගණනක් ජීවත් වූ කොට්ඨාශයක්. මේ ක්‍රියාව සිදු කළේ ඉතාමත්ම සුළු පිරිසක්. සුළුතර කණ්ඩායමක් අපේ ආගම අපේ ධර්මය විකෘති කරලා තිබෙනවා. ඔවුන්  විවිධ අදහස්, විවිධ සංස්කෘතීන් මේක ඇතුලට රිංගවලා එයාලගේ අවශ්‍යතාවයන් අනුව මුස්ලිම් ජනතාව භාවිතා කර තිබෙනවා.

අපි ඒක දෙස නොබලා අහක බලාගෙන ඉඳලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා ප්‍රධාන ධාරාව වෙනස් කරන්න. අපි හැමදාම රටේ ප්‍රධාන සංස්කෘතිය සමඟ ජීවත් වුණු අය. සෑම අවස්ථාවක ම අප රටේ නීතියට හිස නැමුවා. රටේ නීතිය වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා පුද කළා. ඒ නිසා මධ්‍යස්ථ මුස්ලිම් නායකයන්ට ඊටත් වඩා එම වගකීම් දරන්න මේ වන විට සිදුව තිබෙනවා.”