ගාල්ලේ පදික වෙළෙන්දන්ට යන එන මං නෑ

0

සුනාමිට පෙර ගාල්ල මහජන පොළ ප‍්‍රදේශයේ සහ ගාල්ල නගරයේ ජංගම වෙළදාමේ,යෙදුනු දහකට ආසන්න පිරිසක් පාරට වැටෙති.මේ වෙළෙන්ඳන්ට වෙළෙදාම් කරන අතර තුර පොලිසිය හා නිළධාරින් එක්ක රිලේ රේස් දුවන්න සිදුවෙන බව ඔවුහු පවසති.

සුනාමිට පෙර ගාල්ල මහජන පොළ ප‍්‍රදේශයේ සහ ගාල්ල නගරයේ ජංගම වෙළදාමේ යෙදුණු පුද්ගලයින් හට සුනාමියෙන් පසුව එහි වෙළදාම තහනම් වුහ. කෙසේ නමුත් ඔවුන් මෑතක් වන තුරු ගාල්ල තැපැල් කාර්යාලය අවට ප‍්‍රදේශ වල අනවසර ලෙස වෙළදාමේ යෙදී සිටි අතර නගරයේ අලංකාර භාවයට හානි වන නිසා ඔවුන් දැන් එම තැන් වලින්ද ඉවත් කර ඇතැයි ගාල්ල මහජන පොල එක්සත් වෙළෙද සංගමයේ සභාපති ලයනල් බණ්ඩාර මහතා පවසයි.

අද වන විට අපේ වෙළෙන්දන් ඉතාම දුක්ඛිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ජීවත් වෙන්න තමයි හැමදේම කරන්නේ. නගර සභාව සහ පරිසර අධිකාරිය , ගාල්ල පොලිසිය එක්ව, අපිට වෙළදාම් කරන්න දෙන්නේ නෑ. අල්ලගෙන ගිහින් නඩු දානවා. ඒ යන මුදල ගෙවන්න තරම් සවිමත් ව්‍යාපාර අපිට නෑ. දහ අතේ ණය වෙලා තමයි උසාවි ගිහිල්ලා බේරිලා එන්නේ. අපෙන් කාටවත් කරදරයක් නෑ. මේ රටේ තහනම් කරපු වෘත්තියක් නෙවෙයි අපි කරන්නේ. අපි හොරකම් කරන්නේ නෑ, දුෂණ කරන්නේ නෑ, අපි පාරේ ඉන්නවා නම් එහෙම කරන්න එන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. අපිටත් දරුවෝ ඉන්නවා. ඒ අයත් පාසල් යන්න ඔින කන්න බොන්න ඕන. මේ ව්‍යාපාර නැති වුනොත් ඔක්කොම ඉවරයි. අපි ඉල්ලන්නේ අපෙන් කීයක් හරි අරගෙන අපිට මේ වෙලදාම කරන්න පුළුවන් තැනක් හදලා දෙන්න කියලා.

මේ පිළිබද අදහස් දැක් වු ව්‍යාපාරිකයෙකු වු මොහොමඞ් නඩාර් මහතා (38)

මම අවුරුදු 15 ඉදලා වෙළදාම් කරනවා. හරි බයෙන් මේ දිනවල මේ ඇවිල්ලා ඉන්නේ. නිළධාරීන් එනවා දැක්කොත් අඩුමුකුඩු ටික අරගෙන දුවනවා. හරියට හොරකම් කරලා දුවනවා වගේ අපි දුවන්නේ. අනේ උසාවි ගිහිල්ලා ගෙවන්න තරම් මුදල් අපිට නෑ.

එස්. ඒ.විල්සන් මහතා, (74)
වසර 20 ඉදලා මම ව්‍යාපාර කරන්නේ. අනේ අර කොළඹ වගේ ලොකු හෝල් එකක් ගහලා අපිටත් තැනක් හදලා දෙන්න. අපිත් මේ රටේ මිනිසුසුනේ. අපෙන් කාටවත් කරදරයක් නෑ.

කේ.එම් අශෝකා ඉන්ද්‍රානි,

මට පසුගිය මාස 2ට 6 පාරක් උසාවි ගියා. ඒ ගිහින් ගෙවපු තරම් මුදලක් ව්‍යාපාර වලින් හම්බ වුනෙත් නෑ. හැමතැනටම ණය වෙලා ඉන්නේ. කොච්චර දඩ ගැහුවත් මේ ව්‍යාපාරය කරේ නැත්නම් අපේ දරුවෝ කන්නේ බොන්නේ කොහොම ද? මෙතන ඉන්න හැම කෙනාම ඉන්නේ හරිම බයෙන් එහෙම හරියට ව්‍යාපාරයක් කරන්න බෑ. අපිට හොඳ තැනක් දෙන්න. ඒකට අපෙන් ගානක් ගන්න. අපි ඒකට කැමතියි. අපිත් ගාල්ලේ මිනිස්සු අපිට මාස පඩි නෑ. කන්න බොන්න අදින්න ඕන නම් මේක කරන්නම වෙනවා. අපිත් කැමතියි නගරයේ අලංකාරයට. අපිට තැනක් දුන්නොත් අපි එතන ලස්සනට ඉන්නම්.

කෙසේ නමුත් අප මේ පිළිබදව ගාල්ල වැඩ බලන නගරාධිපති කැඵම් සෙනවිරත්න මහතා මෙසේ පැවැසීය.

නගරයක් අලංකාර කරද්දී ඔය අනවර වෙළෙන්දන්, ත‍්‍රීවීල්, මාළු ලෑලි එක එක තැන තියන්න බෑ. සුනාමියෙන් අහිමි වුන හැම කෙනාටම ස්ථිර තැනක් දීලා තියෙන්නේ. අනිත් එක ගාමීණී මාවත ප‍්‍රදේශයේ දුප්පත් මිනිස්සුනේ කියලා වැඬේ කරගෙන යන්න දුන්නාම මනුසුසයෙකුට ඒකේ යන්න බැරි වෙනකන් බඩු ගෙනත් දානවා. ඒයාලා ගැනම විතරක් හිතලා වැඩ කරන්න බෑ. තැපැල් කන්තෝරුව ඉදිරිපිට ප‍්‍රදේශයේ උසාවි නියෝගයකින් මීට අවුරුදු කිහිපයකට පෙර වෙළෙදාම් කිරීම තහනම් කරලා තියෙනවා. බාලදක්ෂ මාවතේ නම් කීයට වත් කාටවත් එන්න දෙන්නේ නෑ. හමුදාවට ස්තූතිවන්ත වෙන්න යන්තම් ඒ ප‍්‍රදේශය හදා ගත්තේ. කොහොම වුනත් ඔය ජනතාවට ඔවුන් කියන ආකාරයේ වෙනම තැනක ලොකු හෝල් එකක් ගහලා දෙන්න අපිට දැනට සැලසුම් කරනවා. ඒක කරන්න එකවර බෑ. නිකන් පාළු තැනක හොල් ගහන්න බෑනේ. ඒක නිසා පොඩි කාලයක් ගත වේවි. මේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්නය කොහොම හරි විසදනවා.

ජායාරූප,
ගාල්ල මහජන පොල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති ලයනල් බන්ඩාර මහතා
මොහොමඞ් නඩාර් මහතා
එස්. ඒ.විල්සන් මහතා,
කේ.එම් අශෝකා ඉන්ද්‍රානි,
තැපැල් කාර්යාලය ඉදිරිපිට ජංගම වෙළෙදාමේ යෙදෙන අයුරු
ගාල්ල වැඩ බලන නගරාධිපති කැළුම් සෙනවිරත්න මහතා

චින්තක හේවාමාන්න ගාල්ල

Galla_01