සන්ධාන මැරයන් පෙරටුගාමින්ට පහර දීලා

0

ඊයේ දින (28) රාත‍්‍රී 11.40ට පමණ 30 ගහල හා දෙල්ගොඩ පැවැත්වීමට තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීම් පෝස්ටර් අලවමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂක ඒ. බී ගංගොඩට සහ ප‍්‍රසන්න සංජීවට කැබ් රථයකින් පැමිණි පිරිසක් මග හරස් කර පහරදී තිබෙනවා.

ගලහ නගරයට කිලෝමීටර් 3ක් පමණ නුවර පැත්තට වන්නට මාර්ගයේදී මෙකී පහරදීම සිදුවී ඇත. එහිදී පහර දීමට පැමිණි අය හැසිරී ඇත්තේ ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අනුරාධ ජයරත්නගේ ආධාරකරුවන් ලෙසයි. (කැබ් රථයේ අංකය ඩබ්ලිව්. පී. පී. ඊ.1371 ලෙස කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි එකකි.

” උඹලා අනුරාධ මහත්තායගේ පෝස්ටර් ඉරුවා නේද? ” යැයි අසා පාර හරස් කර කැබ් රථය නවතා පහරදුන් බව ගංගොඩ ප‍්‍රකාශ කළේය.

පසුව මෙකී සිදුවීම පිළිබඳ පැමිණිලි කිරිමට පේරාදෙණිය පොලිසියට ගිය විට ඔවුන් පවසා ඇත්තේ සිදුවීම අදාල වන්නේ ගලහ පොලීසියට නිසා එහි යන ලෙසයි. කෙසේ නමුත් මෙකී පහරදීමට කලින් ගලහ නගරයේදී ගලහ පොලිසියේ ඕ. අයි. සී. මොවුන් දෙදෙනා පෝස්ටර් අලවනවා දුටු බවත්, ඔහු සමග තමන් අලවන්නේ නීතියානුකූලව ප‍්‍රචාරක රැස්වීම් පෝස්ටරයක් බවත් දැනුවත් කළ බවද ගංගොඩ පැවසීය.

නමුත් එහිදී පොලිස් නිලධාරීන් විසින් එහි සිටි ප‍්‍රසන්න සංජීවට තර්ජනය කළ බවද ඉන් පසු මෙම සිදුවීමට මොහොතකට පෙර අදාල පොලිස් රථය පහරදීම සිදු වූ ස්ථානයට මීටර් 200ක් පමණ එපිටින් නවතා තිබූ බවද ගංගොඩ පැවසීය.