වැවිලි කර්මාන්තයේ අනාගතය ගැන සංගමය-ඇමති සාකච්ඡා

0

සමස්ත ලංකා වතු කම්කරු සංගමය හා කම්කරු ඇමතිවරයා අතර පැවති සාකච්ඡා වලින් පසුව දැනට පවතින තත්වය පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට අමාත්‍ය ඩබ්. ඞී. ජේ. සෙනවිරත්න එකගවි තිබේ.

2015.10.29 දින සවස 02.00 ට සමස්ත ලංකා වතු කම්කරු සංගමය හා ගරු කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්. ඞී. ජේ. සෙනවිරත්න සමග සාකච්ඡාවක් පැවැත්වින. එහිදි සංගමය විසින් වතු කම්කරු වැටුප් වැඩි නොවීම සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලදී.
2015 මාර්තු 31 වන දිනෙන් අවසන්ව ඇති වතු කම්කරු සාමූහික ගිවිසුම මාස 07 ක් ඉක්මවා ගොස් තිබීමත් වතු කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට හාම්පුතුන් කටයුතු නොකර සිටීමත්, වතු කම්කරුවන් බරපතල ජීවන අර්බුදයකට මුහුණදී සිටීමත් එම තත්වය වෙනස් කිරිමට ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍ය බවත් කම්කරු ඇමතිවරයා සමග සාකච්ඡා කෙරින.

සමස්ත ලංකා වතු කම්කරු සංගමය තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින්, 2014 දෙසැම්බර් මස ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරිම් වලට අනුව වතු කම්කරු පවුලක මාසික වියදම රු 29779 ක් වන බවත් එයට අනුව වතු කම්කරුවෙකුගේ වැටුප රු 1192 විය යුතුය බවත්, සාමූහික ගිවිසුමෙන් වැඩිකළ යුතු ගණන එය වුවත් වැවිලි කර්මාන්තය මුහුණදී ඇති අර්බුදය නිසා වෘත්තිය සමිති රු 1000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියද ලබා දීම වතු හාම්පුතුන් ප‍්‍රතික්ෂේප කර ඇති බවත් අවධාරණය කරන ලදී මේ වන විට වතු කම්කරු වැටුප් වැඩි නොවීම නිසා වතු කම්කරුවන් විශාල ප‍්‍රමාණයක් වතු රැකියාවෙන් ඉවත් වී සිටින බවත් එයින් වැවිලි ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයන්ගේ හිගය තවත් උග‍්‍ර වන බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය පෙන්වා දෙන ලදී.

2015 මහ මැතිවරණයේදී අගමැතිවරයා විසින් වතු කම්කරු වැටුප රු 1000 ක් කරන බවට එදා වතු කම්කරුවන් ඉදිරියේ පොරොන්දු වූ බවත් එම පොරොන්දුව ඉටුකිරිම රජයේ වගකීම බවත් සංගමයේ නියෝජතයින් විසින් ප‍්‍රකාශ කරන ලදී. මීට පෙර පැවති රජයන් ද වතු කම්කරු ජනතාවගේ බලාපොරොත්තු ඉහල නංවන පොරොන්දු ගණනාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර, සහන මිලකට සහල් කිලෝ 10ක්, භූමිතෙල් සහනාධාරයක්, ළදරු කිරිපිටි සහනාධාරයක්, පර්චස් 10 ක ඉඩම් කැබැල්ලක් ඇතුළු පොරොන්දු ගණනාවක් මෙන්ම වතු වල පිහිටුවා ඇති බෙහෙත් ශාලා රෝහල් බවට පත්කරන බවටත් එම රෝහල් වලට අවශ්‍ය සෞඛ්‍ය කාර්යමණ්ඩලය සම්පූර්ණ කරන බවටත් ඖෂධ ඇතුළු භෞතික සම්පත්ද සම්පූර්ණ කරන බවටත් පොරොන්දු විය. එහෙත් එම පොරොන්දු යතාර්ථයක් බවට පත්කිරිමට කටයුතු කරනවා වෙනුවට පාලකයින් වගකීම් විරහිත ලෙස වතු කම්කරුවන් රැවටීමට කටයුතු කළ බවත් නියෝජිතයින් විසින් පෙන්වා දුන් අතර, රු 1000 කින් වැටුප් වැඩිකිරිමේ පොරොන්දුව යතාර්ථයක් බවට පත් කිරිමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

වැවිලි කර්මාන්තයේ බිඳ වැටීම කලාපීය වැවිලි සමාගම් වගකීමෙන් කටයුතු නොකිරිම නිසා සිදුවන බවත් සමස්ත වැවිලි කර්මාන්තය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවත්, එහිදි වතු හාම්පුතුන් විසින් නොසලකා හරින ලද ලක්‍ෂ 03 ක් පමණ වන ශ‍්‍රමිකයන් හා ඔවුන්ගෙන් යැපෙන ලක්‍ෂ 12 කට ආසන්න ජනතාවගේ ජීවන අර්බුදය ගැනත් නිෂ්පාදන වියදම හා වෙළඳපොල පිළිබඳවත් රජයේ අවදානය යොමුකළ යුතු බවත් එසේ නොවුනහොත් ලංකාවේ වැවිලි කර්මාන්තයේ අනාගතය තවදුරටත් අර්බුදයට යෑම වැලැක්විය නොහැකි බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය විසින් අවධාරණය කරන ලදි.