දොස්තර සාෆිගේ වඳ සැත්කම් චෝදනාව කෝටි 13 ක දේපල තරගයක ප්‍රතිඵලයක් ද…….. පොහොට්ටුවේ ක්‍රියාකාරීන්, දිවයින, රෝහල් අධ්‍යක්ෂක, DIG එකම බෝට්ටුවේ…….?

0

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීමට හේතුව වී ඇත්තේ තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත් වූ කුරුණෑගල වැව පාරේ ගොඩනැගිල්ලක් වෛද්‍යවරයා කෝටි 13ක මුදලකට මිලදි ගැනීම සඳහා ඇති තරගය බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් රහස් පොලිසියේදි පවසා තිබෙනවා.

වෛද්‍ය සාෆි සමඟ ගොඩනැගිල්ල ලබා ගැනීමට තරග කළ කුරුණෑගල සිංහල වෙළඳ සංගමය වෛද්‍යවරයා විසින් ගොඩනැගිල්ල මිලදි ගැනීම පිළිබඳව උරණ වී  වෛද්‍යවරයාගෙන් පළිගැනීම සඳහා තමාගෙන් උදව් ඉල්ලු බවත් එකම පාසලේකමට හා ලබා දෙනවා යැයි පැවසූ මුදල නිසා තමා එයට එකඟ වූ බවත් නියෝජ්‍ය පොලිස්පති රහස් පොලිසියට පවසා ඇත.

ඒ අනුව වෛද්‍යවරයා විසින් අයථා වත්කම් උපයා ඇති චෝදනාව යටතේ අත්තඩංගුවට ගන්න ලෙස සිංහල වෙළඳ සංගමය තමාගෙන් ඉල්ලා සිටිය ද යථා වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වගකීමක් නොවන අතර එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීමක් බැවින් එම චෝදනාව යටතේ අත්තඩංගුවට ගැනීමට පවා පොලිසියට අයිතියක් නොමැති බව තමා ඔවුනට පැහැදිළි කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.

පසුව වෛද්‍යවරයා කොටු කරගැනීම සඳහා එතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු, විමර්ශනයක් ද සිදු නොවුණු සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳකිරීමේ චෝදනාව දිවයින පුවත්පත හරහා සමාජගත කෙරුණු බවත් එය බරපතළ ලෙස සමාජය මත බලපාන තත්වයකට ගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් වන මහාචාර්ය චන්න ජයසුමන සහ රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර බවත් ඔහු රහස් පොලිසිය හමුවේ පවසා ඇත.

මේ වෙනුවෙන් රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර වෙත ද මුදල් ත්‍යාග හිමිවූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කොට තිබෙනවා.

ඉතාම සංවේදී කරුණක් පිළිබඳව බරපතළ සැකයක් අවුළුවා, පැමිණිලි කරන ලෙස මාධ්‍ය හරහා ජනතාවට ආයචනා කරනු ලදුවත් තවමත් දින දෙකක් තිස්සේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ පැමිණිලි 139 කි.එයද ඇතැම් මවුවරුන්ට ඇවිටිලි කිරීමෙන් පසුව බව කියැවේ. මවුවරුන් 4000ක් වඳකිරීමේ කතාව අතේ බොරුවක් බව දැනටමත් ඔප්පු වී තිබේ. පැමිණිලි කල මවුවරුන්ගේ පැලෝපිය නාල පරීක්ෂණයෙන් පසුව මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට නියමිතයි. සිද්දිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තව දුරටත් පරීක්ෂණ පවත්වයි.