අපරාධ සඳහා විසඳුම, නීතියේ පාලනය මිස මරණය නොවේ…. Rule of law, not death, the solution to crime

0

මගේ පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහානාම සමරවීර, මිනී මැරුමකට වරදකරුවන්ව එල්ලුම්ගහට නියමව සිටි පුද්ගලයන් දෙදෙනෙකු දැන සිටියේය. ඔවුන් මාතර දිස්ත්‍රික්කයේ ඔහුගේ ඡන්ද කොට්ඨාශයට අයත් පුද්ගලයන් වූහ. එබැවින් එම දිස්ත්‍රික්කයේ අනෙක් සියළු දෙනා මෙන්ම ඔහු ද රටේ බහුතරයක් දෙනා නොදැන සිටි කාරණයක් දැන සිටියේය. එනම්, මෙම පුද්ගලයන් දෙදෙනා බොරු සාක්ෂි මත වරදකරුවන් කොට මරණ දණ්ඩනය නියම කරන ලද අය බවයි. තමන් නොකල වරදක් සඳහා ඔවුන් එල්ලුම් ගහට නියම වී සිටියහ.

මෙම වේදනාත්මක සිදුවීම පිළිබඳ අත්දැකීම හා අහිංසකයන් මරණයට පත්කිරීමෙන් සිදුවන දැඩි අසාධාරණය, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක රජයේ නියෝජ්‍ය අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මරණ දණ්ඩනය අත්හිටුවීම වෙනුවෙන් පෙනීසිටීම සඳහා ඔහු කෙරේ පෙළඹවීමක් ඇති කරන්නට ඇත. එක් අතකට එම උත්සාහය සාර්ථක විය. 1956 දී රජය බලයට පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදීම මරණ දණ්ඩනය අත්හිටුවීමේ කටයුත්තට අතගැසීමට තීරණය විය. වසර දෙකකට පසුව මාගේ පියා විසින් මරණ දණ්ඩනය පිළිබඳ අංක 20 දරණ පනත සභාගත කරන ලදි. ඒ අනුව, මරණ දඩුවම අහෝසි කර ඒ වෙනුවට ජීවිතාන්තය තෙක් සිර දඩුවම හඳුන්වාදෙන ලදි.

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විසින් වරක් සඳහන් කල පරිදි, මරණ දඩුවම යලි හැරවිය නොහැකි වීමම එය අත්හිටුවීම සඳහා හේතුවක් වේ. මරණ දඩුවම හඳුන්වා දීම යනු සමාජයක් වශයෙන් අප, අපගේ විනිශ්චයකාරවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින්නන් හා විමර්ෂකයන් යන සියළු දෙනා අප වැනිම යම් යම් මතවාද වල එල්බ ගත් සහ අවුල් වූ මනසින් යුක්තව සිටියදීත් ඔවුන් අතින් කිසිදු වරදක් සිදු නොවන බවට සපුරාම විශ්වාස කරන බවයි. ඔවුන් වරදක් නොකරනු ඇති බවට අපට තහවුරු විය යුතුය. නොඑසේනම්, ඔවුන් අතින් එක් වරක් හෝ වරදක් සිදුවී, යමෙක් වැරදි ලෙස මරණ දඩුවමට නියම වුවහොත්, ඔහුගේ ලේ අප සියළු දෙනාගේ අත් වල ගෑවෙනු ඇත. එයට හේතුව නීති සම්පාදකයන් හා පුරවැසියන් වශයෙන් එවන් අසාධාරණයක් සිදුවීමට ඉඩ දුන්නේ අප වන බැවිනි.

තවද, අපට වරදිනු ඇතැයි යන අවදානම තිබියදීත් එවන් ආපසු හැරවිය නොහැකි තීන්දු ගැනීමට සමාජයක් වශයෙන් යම් සාමූහික උද්දච්ඡකමක් නැත්නම් වෘංහණෝත්මාදයක් තිබිය යුතු වන්නේය. අනෙකක් තබා, ඕනෑම අපරාධ විනිශ්චකරවරයෙකු පවසනු ඇති පරිදි, නවීන විද්‍යාවේ හාස්කම් කොතෙක් වුවත්, බොහෝ නඩු පහසුවෙන් විවෘත කර අවසන් කල හැකි ඒවා නොවේ. “12 Angry Men”නමැති චිත්‍රපටයේ මැනවින් නිරූපණය කර ඇති පරිදි, සාධාරණ සැකය හා වරද අතර සැමවිටම කුඩා පරතරයක් ඇත්තේය. එමෙන්ම නීතිය ද කාලය සමඟ වෙනස් වේ. අතීතයේ මරණ දඩුවම නියම කිරීමට හේතු වූ රජුට අපහාස කිරීම වැනි වරදවල් අද වනවිට සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. සිතා බලන්න නෙල්සන් මැ‍න්ඩෙලා හෝ අපගේ ඇන්.ඇම්.පෙරේරා යන අය සිරදඩුවමට නියම නොවී මරණ දඩුවමට පත් කලා නම් පසුකාලීනව නීතියේ සිදුවූ වෙනස්කම් වලින් යලි ඔවුන්ට පණ දිමට හැකිද? එයට හේතුව, මරණය නීතිය මෙන් නොව නියත වන නිසාය. නීතිය වෙනස් වනු ඇති නමුත් මරණයට පත්කල අයට යලි පණ දිය නොහැක්කේය. එවන් අවිනිශ්චිතතාවයක් විනිසුරුවන්, නීති සම්පාදකයන් හා තම හෘද සාක්ෂිය විශ්වාස කරන පුරවැසියන් හට ලබාදෙන්නේ දැඩි අසහනයකි.

මරණ දඩුවම, මූලික වශයෙන් අපට කෙනෙකුගේ ජීවිතය නැතිකිරීම සඳහා අයිතියක් හෝ බලයක් තිබේද යන ප්‍රශ්ණය මතු කරයි. ආචාර්ය ඊ.ඩබ්.අධිකාරම් මම සෘජුව හෝ වක්‍රව මාළුවකුගේ, කෘමියෙකුගේ හෝ මනුෂ්‍යයකුගේ මරණයට සම්බන්ධ නොවෙමි යනුවෙන් පවසිමන් මරණ දඩුවම වෙනුවෙන් ඡන්දය භාවිතා කලේ නැත. තවත් කෙනෙකුගේ ජීවිතය නැතිකිරීමට හෝ මව්වරු, පියවරු,දියණියන්,පුතුන්, නැන්දලා,මාමලා මරණයට පත්විය යුතුය හෝ යුතු නොවේය යන්න තීරණයට කිරීමට අප කවුද?

සමාජ සෞඛ්‍ය තත්වය මනින මිම්මක් ලෙස සියදිවි නසා ගැනීමේ අනුපාතය භාවිතා වන ආකාරයටම සමාජයක් විසින් මරණ දඩුවම සඳහා ප්‍රවේශය ලබාගැනීම එම සමාජයේ මනුෂ්‍යත්වය මැනීම සඳහා මිම්මක්‍ ලෙස යමෙකුට භාවිතා කල හැකිය. සමාජයක් විසින් සැලසුම්සහගතව හා ක්‍රමානුකූලව මිනිස් ජීවිතයක් නැති කිරීම සඳහා ඉඩදීම එම සමාජය තුල ජීවිතයේ පාරිශුද්ධත්වය පිළිබඳ ඇති කැපවීම කොපමණ අඩු වී ඇත්දැයි යන්න හා ප්‍රචණ්ඩත්වය හා යුද්ධය හරහා අප කෙතෙක් දුරට අමානුෂික වී ඇත්දැයි යන්න පිළිබඳ විවරණය කරයි. එමෙන්ම එම පියවර නාගයෙකු මරා දැමීම හා සමාන භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි තත්වයක් නිර්මාණය කිරීමට ද පුළුවන. එනම් ප්‍රශ්නයක් සඳහා වන පිළිතුර ඇත්ත වශයෙන්ම එම තත්වය වඩාත් දරුණු කිරීමට හේතු විය හැක. එබැවින් මරණ දඩුවම යලි හඳුන්වා දීම මගින් ලබාදෙන පණිවුඩය වනුයේ සෑම ජීවිතයක්ම වටිනා බව කියාදෙනු වෙනුවට කෙනෙකුගේ මනුෂ්‍ය ජීවිතයක් තවත් අයෙකුට නැතිකල හැකි බවයි. ඒ අනුව මෙමගින් දිගුකාලීනව සමාජය තුල ප්‍රචණ්ඩත්වය නැති කරනු වෙනුවට එය තවදුරටත් වර්ධනය කිරීම සඳහා දායක වනු ඇත.

ලෝකය පුරා සිටින පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති පරිදි මරණ දණ්ඩනය භාවිතා වන්නේ අසාධාරණ ලෙසයි. මෙම අමානුෂික තීන්දුවේ වැඩි බර දැරීමට සිදුවන්නේ දක්ෂ නීතිඥයෙකු ලබාගත නොහැකි දුප්පතුන්ටත්, ඇප ලබාගැනීම සඳහා පොහොසතුන් නොහඳුනන විනිසුරුවන් හා බලපුළුවන්කාරකම ඇති අයගේ වෙනස්කමට භාජනය වන පීඩිතයන්ටත්ය. පොහොසතුන්, බලවතුන්, සම්බන්ධතා ඇති අය – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වෙනත් ජාවාරම්කරුවන්, දූෂිතයන් හට ඇත්තටම මෙහිදී බිය වීමට හේතුවක් නැත.

තවද, අධ්‍යනයෙන් අධ්‍යනයට ලැබෙන සාක්ෂිවලින් තහවුරු වන්නේ මරණ දඩුවම ඵලදායී නිවාරණයක් නොවන බවයි. සරළව පවසන්නේ නම්, “මරණ දණ්ඩනය මගින් ඝාතනය කිරීම් නවතින බවටත් අපව ආරක්ෂා කරන බවටත් කිසිදු පිළිගතහැකි විශ්වාසදායී සාක්ෂි නොමැත්තේය.” බොහෝ රටවල් මරණ දඩුවම භාවිතා නොකරන්නේ මෙබැවිනි. ඇතැම් ප්‍රාන්ත වල තවමත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන ඇමරිකාවේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් යොදාගෙන පැවැත්වූ සමීක්ෂණයකදී හෙලිවූයේ ඔවුන් විශ්වාස කරන පරිදි මරණ දඩුවම යනු නිවාරණයක් වශයෙන් ඔවුන්ට භාවිතා කල හැකි අඩුම සවිමත්භාවයෙන් යුත් දඩුවම බවයි. මෙම අදහස අධිකරණ, නීති,පොලිස් හා අපරාධ විශේෂඥයන් විසින් ද තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවේ අපරාධ ඇතිකරන හේතුකාරක පිළිබඳ පුළුල් අධ්‍යයන කිසිවක් සිදු කර නැතත්, පොලීසිය දේශපාලනීකරණය වීම, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල වන අභියෝග, අපරාධකරුවන් හට දේශපාලන රැකවරණය ලැබීම, අවුරුදු ගණනාවක් තිස්සේ නිර්මාණය වී ඇති දඩුවම් නොලබා බේරී යා හැකි දූෂිත සංස්කෘතිය ආදිය නිවාරණය නොමැතිකම සඳහා මරණ දණ්ඩනය නොමැතිකමට වඩා බලපා ඇති බව මාගේ තර්කයයි. එබැවින් අපරාධකරුවන් නැතිකිරීමට නම්, අප සිදුකල යුත්තේ අධිකරණය හා පොලීසිය යලි ශක්තිමත් කිරීමට කටයුතු කිරීමයි. බාහිර බලපෑම් වලින් ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ඉහලම විශ්වාසවන්තභාවයෙන් යුත් කාර්ය මණ්ඩල ඔවුන්ට ලබාදීම, යුක්තියේ කඩිනම්බව සහ අපක්ෂපාතීබව තහවුරු වන පරිදි අවශ්‍ය සම්පත් ලබාදෙන බව තහවුරු කිරීම අප විසින් සිදු කල යුතුය.

අපේ රට සාපරාධිත්වය පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් එම ගැටළුව සදාචාරාත්මක වශයෙන් පිළිකුල් සහගත, අකාර්යක්ෂම, ස්වයං-පරාජිත, සරල විසඳුමක් වන මරණ දඩුවම යලි ගෙන ඒම මගින් විසඳීය නොහැකි ඊට වඩා ප්‍රබල හා බරපතල ගැටළුවකි. ඒ සඳහා කැලෑ නීතිය වෙනුවට ඵලදායී හා අපක්ෂපාතී අධිකරණයක් හා පොලිස් බලකායක් මගින් නීතියේ පාලනය ඇති කල යුතු වේ. එමෙන්ම දූෂණය, දඩුවම් නොලබා බේරී යාම, හා දේශපාලනීකරණය නැතිකිරීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ද අවශ්‍ය වේ. ප්‍රවේශමින් නොසිතා විචාරණයකින් තොරව මිනිසුන්ගේ ජීවිත අහිමි නොකරන ශිෂ්ඨසම්පන්න හා මානූෂීය ජාතියක් ලෙස තම තත්වය පහතදමාගැනීම අනුවණකමක් වනවාක් පමණක් නොව දැඩි ලෙස වගකීමෙන් තොර ක්‍රියාවක් ද වේ. පනස් වසරකට පෙර මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ අධ්‍යනය සඳහා විමර්ශන කොමිසමක් පත්කලාක් මෙන් අප සමාජය අපරාධකරණය වීම පිළිබඳ ගැටළුව පිළිබඳ අධ්‍යනය කර අපරාධ පිළිබඳ ගැටලුවට සැබෑ හා කල් පවතනා විසඳුම් ලබා දීම සඳහා විනිසුරුවන්, පොලිස් නිලධාරීන්, නීතිඥයන්, වෘත්තිකයන් මෙන්ම පුනරුත්ථාපනය වූ වැරදිකරුවන් ගෙන්ද සැදුම්ලත් එවැනිම වූ තවත් කමිටුවක් පත් කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.

~~මංගල සමරවිර ~~