එජාපයේම ජනපති අපේක්ෂ්කයෙක් එන්නේ වසර 14කට පස්සේ….. මෙදා සැරේ පස්සට යන්නේ නෑ!

0

තම පක්ෂයේ අපේක්ෂකයෙකු මෙන් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද  (21) හැටන් බස් නැවතුම්පොළේ  පැවති රැස්විමක් අමතමිනි.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ගාමිණි  දිසානායක වන මගේ පියාණන් ඡන්දය ඉල්ලන විට එතුමාටත් මෙවැනිම සෙනඟක් හිටියා. එතුමටත් එවිට වයස 52යි. සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දය ඉල්ලන විට එතුමටත් වයස 52යි. ඒ වගේම මෙතුමත් සරල විනෝදකාමී  පුද්ගලයෙක්.  එදා ගාමිනි දිසානායක මහත්තයාට තව අඩියක් විතරයි ගන්න තිබ්බේ. හැබයි මෙවර සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අඩියත් තියනවා කියලා විශ්වාසෙන් කියනවා.

අපි අපේම පක්ෂයේ අපේක්ෂකයෙක් ජනාධිපති වශයෙන් ඉදිරිපත් කරන්නේ වසර 14කට පසුව. අපි මෙච්චර කළේ  වෙන අපේක්ෂකයෝ ගෙන්නලා ඡන්ද ලබා දුන්න එක. ඒත් අපේ කෙනෙක් තරම් අපිට විශ්වාස නෑ. ඒ කට්ටියට අපි ගැන හැඟිමක් නෑ. අන්න ඒකයි අපි මෙවර අපේම දක්ෂ එඩිතර නායකයෙක් මෙවර ඉදිරිපත් කරන්නේ. අපිට විශ්වාසයි ඒ නායකයා අනිවාර්යයෙන්ම ජයගන්න බව.

සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හඬ  නගන මනුෂ්‍යයෙක්.  එතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මහත්තයා තමයි එදා දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන්න ජනසවිය ලබා දුන්නේ. දුප්පත් මිනිස්සු විශාල ප්‍රමාණයකට රැකියා ලබා දුන්නා. ඇගලුම් කර්මාන්ත ශාලා 200ක් විවෘත කලා.

ගෝඨාභය, මහින්ද, චමල් පුත්තු තුන් දෙනා හොරකම් කරපු සල්ලි වලින් මාස දෙකකට කලින් ප්‍රචාරණය පටන් ගත්තේ.  නමුත් මගේ පියාගෙන් ගත්ත ආභාෂයක් තියෙනවා ඒ තමයි මේ වගේ දේශපාලන ව්‍යාපාර කටයුතු  ප්‍රචාරණ  රැළි  හෙමින් හෙමින් ක්‍රමක්‍රමයෙන් පටන් ගන්න ඕන. දැන් අපි ඒ වැඩේ ඒ විදියටම ගාණට උස්සගෙන කරගෙන යනවා.

ඒකයි ගෝඨාගේ ප්‍රචාරණය කඩා වැටෙන්නයි අපේ ප්‍රචාරණය ගොඩනැගෙන්නයි හේතුව. ඉදිරි කාලයේදී අපි තව රැළි  100ක් විතර පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

2009 අපගේ විරෝදාර රණ විරුවන් යුද්ධය අවසන් කළාට ගෝඨාභය රාජපක්ෂලා යුද්ධය මුවාවෙන් අහිංසක මිනිස්සු මැරුවා, ලසන්ත වික්‍රමතුංගලා, ප්‍රගීත් එක්නැළිගොඩලා වගේ මාධ්‍යවේදීන් මරා දාපු අතේ ලේ තියෙන පුද්ගලයෙක්. ඒත් දුක හඳුනන පොඩි තැන ඉදන් ආපු දේශපාලනයේ පරිණත  කඩිසර නායකයෙක් තමයි අපිට ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා.

අපි අඩුමගාණේ  වතු කම්කරුවකුගේ දෛනික වැටුප රු. 100ක් වත් කරන්න අවශ්‍යයි. ඒ සදහා නිෂ්පාදනය වැඩි කරලා ජාත්‍යන්තරයේ ඉහළ මිලක් ලබා ගැනීමට අවශ්‍යයි. වතුකරයේ ජනතාවට ගෞරවණිය ලෙස ඉහළ  ජීවන තත්ත්වයක් ලබා දීමට අවශ්‍යයි. එය අපි අනිවාර්යයෙන්ම කරනවා. මේ අපි වෙනස් කරන්නේ අවුරුදු 150ක් වෙනස් නොකරපු පද්ධතියක්.

එක්තරා දේශපාලකයෙක් ඉන්නවා එතුමා සල්ලි වලට තමයි දේශපාලන ව්‍යාපාරය මාරු කරන්නේ. ගිය ජනාධිපතිවරණයේ ඇ.ඩො. මි 3යි මෙවර ඔහුට ඇ. ඩො. මි 5යි වැඩිම ගාණට තමයි අලෙවි වෙන්නේ. බැසිල් රාජපක්ෂ සල්ලි ගෙනත් දෙනවා මෙයා වතුකරයේ ජනතාව රවට්ටනවා.

හැබැයි අපි ගාවට එන්නේ මුදලට යට වෙන පුද්ගලයින්  නෙවෙයි. අපි ගාව ඉන්නේ හදවතින්ම සජිත් ජනාධිපති කරවන්න කැමති අය. අලෙවි වෙන එක මනුෂ්‍යයෙක්වත්  අපේ වේදිකාවේ නෑ කියලා අපිට කවදත් කියන්න පුළුවන්.

2014 ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල මැතිතුමාව අපි දිගම්බරම් මහත්තයාලත් එක්ක එකතු වෙලා 70%ක ට වැඩිය ඡන්ද ප්‍රමාණයක් නුවර එළිය දිස්ත්‍රික්කයෙන් එතුමාට ලබා දීලා එතුමාව දිනෙව්වාට එතුමා කවදාවත් අපි ගැන හිතුවේ නෑ. ඒත් දැන් ඉන්නේ අපේම නායකයෙක්. එතුමාට 70%ට වඩා මෙවර ඡන්දය ලබා දීලා අනිවාර්යයෙන්ම දිනවන්න පුළුවන් කියලා අපිට විශ්වාසයි.

එදා මගේ පියා දිසානායක මහතා  ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වෙලා හැම මතභේදයක්ම අමතක කරලා ගම් ගාණේ  වේදිකා ගාණේ ප්‍රේමදාස මහත්තයාව ජනාධිපති කරවන්න විශාල වැඩ කොටසක් කලා.

ඒ වගේම මෙවර එතුමා මට සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක එකතු වෙලා කොහොම හරි සජිත් ප්‍රේමදාස මහත්තයාව ජනාධිපති කරවපන් පුතේ කියලා මට කොහේ හරි ඉදලා ආශිර්වාද කරනවා.

බැරි වෙලාවත් ගෝඨාභය මේ රටේ ජනාධිපති වුණොත් නියම රජා මහින්ද කියලා කියයි. හැබැයි   සජිත් කියන්නේ එහෙම නායකයෙක් නෙවෙයි එතුමා සහයෝගයෙන් වැඩ කරන්නේ එතුමාගේ වැඩ කොටස එතුමා ගාණට කරයි. එතුමාටත් විශාල බලතල තියෙනවා.  හැබැයි එතුමා අර වගේ පවුල් පාලනයට යන්නෑ.  එතුමා ගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. රටේ මූල්‍යනය වගේම රටේ නිදහසත් යන දෙකම එකට ඉෂ්ට කර දෙන නායකයෙක් තමයි සජිත් කියන්නේ”