දේශපාලඥයන් පිනවන බුද්ධි අංශ ඕන නෑ…… අපේ බුද්ධි අංශ දුර්වල වෙන්නේ දේශපාලනීකරණය නිසයි!

0

බුද්ධි අංශය නිර්මාණය විය යුත්තේ දේශපාලනඥයින්ගේ උවමනාවන් ඉටු කිරීමට නොවෙයි. රටට එල්ලවන අභියෝග, ගැටළු පිළබඳව කරුණු කල්තියා සොයා බලා ඒවා වැලැක්වීමට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන රැළියට අද (22) දින එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තරය තරහ කරගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, අපේ රටට වටිනාකමක් ඇති විදේශීය රටවල් සමග විනිවිදභාවයෙන් යුතු ශක්තිමත් සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

“මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම නිසා දුර්වල වෙලා තිබෙනවා. බුද්ධි අංශය නිර්මාණය විය යුත්තේ දේශපාලනඥයින්ගේ උවමනාවන් ඉටු කිරීමට නොවෙයි. රටට එල්ලවන අභියෝග, ගැටළු පිළබඳව කරුණු කල්තියා සොයා බලා ඒවා වැලැක්වීමට කටයුතු කිරීමයි.

පසුගිය පාලන සමයේදී ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් පාලකයින්ගේ සේවකයින් බවට පත්වුණා. රට ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන් පාලකයින්ගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ වහලුන් බවට පත්කර ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකියි.

බොරු දේශප්‍රේමීත්වක් නිර්මාණය කරගත් ප්‍රතිවාදීන් පසුගිය කාලයේ දළදා මාළිගාව ඉදිරිපිට පාරවල් වසා, රණවිරුවන් ලවා වැලි කොට්ට ගසාගෙන රේස් කාර් පැද්දා.

ජනතා මුදල් වැය කර විදේශීය නළඟනාවන් රටට ගෙන්වා ගනිමින් සංගීත ප්‍රසංග පවත්වා බුදු සසුන කෙළසීමට කටයුතු කළ ආකාරය මේ රටේ ජනතාවට අමතක නැහැ.

අපි නියම ප්‍රායෝගික බෞද්ධයින් ලෙස මේ රටේ චෛත්‍ය, දහම් පාසල් ශාලා, වෙහෙර විහාරස්ථාන ඉදිකර සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉතිහාසයේ කිසිම රජයක් නොකළ සේවාවක් ඉටුකළා” ඔහු සඳහන් කර සිටියා.