ජනපති මෛත්‍රි දුන්නේ වැරදි පූර්වාදර්ශයක්…. මගේ ලඟ මිනිමරුවන්ට සමාව නෑ!

0

වැරදිවලට නීතියෙන් අච්චු ලබා ඇති මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලනකාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

කුරුණෑගල, ගල්ගමුව මහජන සතිපොළේ ඊයේ (11) පැවති ජන රැළියට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

ත්‍රස්තවාදීන්ට හා කුඩු ජාවාරම්කරුවන්ට ද තමා කිසිඳු ලෙසකින් ජනාධිපති සමාව ලබානොදෙන බව එම රැළියේදී අවධාරණය කළ සජිත් ප්‍රේමදාස තවදුරටත් මෙසේද පැවසිය.

“එළඹෙන16 වැනිදායින් පසුව ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, ළමා අපචාර කරුවන්ටරට තුළ ඉඩක් නැහැ.

අච්චු කර ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන් කිසිමවිටක ජනාධිපතිවරයා ලෙස මගේ පාලන කාලය තුළදී නිදහස් කරන්නේ නැහැ.

ඔවුන්ට දැඩි දඩුවම් ලබා දී විනයගරුක රටක් නිර්මාණය කර සංවර්ධිත නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.”

ජනාධිපතිවරණය මුවවිටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝයල් පාර්ක් මිනීමැරුම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමිව සිරදඬුවම් විඳිමින් සිටි ජූඞ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජය හරහා බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබෙන පසුබිමක සජිත් ප්‍රේමදාස විසින් මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.