මම චන්ද්‍රිකාට බයයි මල්ලියේ…….!

0

තමා විසින් යාපනය සංචාරයක් අතරතුරදි ජන රැලියක් අමතමින් ප්‍රභාකරන් වෙත සර් යනුවෙන් ආමන්ත්‍රණය කළ බවට මාධ්‍ය හරහා පලවන වාර්තා සාවද්‍ය බවත් එම වාර්තා හෙලා දකින බවත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

නිවේදනයක් නිකුත් ඇය සඳහන් කරන්නේ “ප්‍රභාකරන් වැන්නෙකුට මා ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කල බවට හැකි නම් එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවයි”

චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ විශේෂ ප්‍රකාශය

“ඊයේ දිනයේදී මා යාපනය නගරයේ කල සංචාරයේ දී මහජන රැස්විමක් අමතමින් කොටි සංවිධානයේ ප්‍රභාකරන්ව ‘සර්’ ලෙසින් ඇමතූ බවට ජනමාධ්‍ය ඔස්සේ පතුරුවා ඇති සාවද්‍ය ප්‍රචාරය ඉතා පිළිකුලින් හෙළා දකිමි.

ඒකාධිපති, පවුල්වාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක යෙදෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විනාශ කරන්නට උත්සාහ කරන දේශපාලන කදවුරක පරාජයේ වියරුව හමුවේ මෙවැනි බොරු ප්‍රචාර මගින් හිටපු ජනාධිපතිවරියක හා සේනාධිනායිකාවක වන මාගේ ප්‍රතිරූපයට සහ එක්ව ඉදිරියට යන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයහි නියත ජයට අභියෝග කිරිම ඉතා නින්දිත ක්‍රියාවකි.

ප්‍රභාකරන් වැන්නෙකුට මා ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කල බවට හැකි නම් එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන අතර, පටු දේශපාලන අරමුණු නිසා මෙවන් මඩ ප්‍රචාරයන් සිදුකරන පහත් මට්ටමකට ප්‍රතිවාදීන් වැටී සිටීම ගැන කණගාටු වෙමි.”

මෙම සියළු මඩ ප්‍රචාර හරහා වඩ වඩාත් තහවුරු වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම තවදුරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක සතුවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හෝ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ඡන්ද පදනමට බලපෑමක් කළ නොහැකි බවත්ය .