ස්විට්සර්ලන්ත තානාපති, ජනපති හමුවෙයි…. පැහැරගත් කාන්තාව බන්ධනාගාරයට!

0

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා(Hanspeter Mock) ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත වුනා.

ද්විපාර්ශ්වීය සබඳතා මෙන්ම දෙරටට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කල බවයි වාර්තා වන්නේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරියෙකු සම්බන්ධ සිද්ධියක් පිළිබඳව අවධානය යොමු කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාවට කිසිදු හානියක් කිරීමට ස්විට්සර්ලන්තයට කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කර තිබේ.

“දෙරටේම යහපත උදෙසා එකට වැඩ කිරීමට අපි කැමැත්තෙමු. එසේම මෙම ආතතියෙන් මිදීමටත් වරදවා වටහාගැනීම් ඉවත් කිරීමටත් අපට අවශ්‍යයි, ”ස්විට්සර්ලන්ත තානාපතිවරයා පවසා තිබේ.

පැහැරගෙන යාමේ චෝදනාව මා සහ මගේ රජය අපකීර්තියට පත් කිරීම සඳහා උනන්දුවක් දක්වන සමහර පාර්ශවයන් විසින් කරන ලද සම්පුර්ණ ගොතන ලද ක්‍රියාවක් බව මේ වන විට පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කර ඇති අතර සත්‍යය ඉස්මතු වන පරිදි විමර්ශනය අවසන් කරන ලෙස රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයෙ (16) නියෝග කළා.