දුරකතන සංවාද දෙක තුනක් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් රටේ සිටින සියලුම විනිසුරවරුන්ට චෝදනා එල්ල කළ නොහැකියි

0

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරුවරුන් කිහිපදෙනෙක් සමග කළ දුරකතන සංවාද දෙක තුනක් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් රටේ සිටින සියලුම විනිසුරවරුන්ට චෝදනා එල්ල කළ නොහැකි යැයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසුවේය.

වැරදි කරන ලද විනිසුරුවරුන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවද එසේ නොකර සමස්ත අධිකරණ පද්ධතියටම පහරදීම ගැන අවධානය යොමු කළ යුතු බවද ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වු ප්‍රසිද්ධ සංවාදයකට එක්වෙමින් ඔහු පැවසුවේය.

දුරකතන සංවාද පටිගත කිරීම – නීතිය හා ආචාරධර්ම යන මැයෙන් පැවති සංවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙස්ද පැවසුවේය. 

පටිගත කරපු දුරකනත සංවාද බෙදාහැරීම ගැන තමයි මේ ආන්දෝලනය ඇතිවී තිබෙන්නේ. අපේ රටේ පුද්ගලිකත්වය වෙනුවෙන් නීතියක් නෑ. අපේ රටේ නඩු තීන්දුවලින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපියවරක් තබලා නෑ. දුරකතන සංවාදවලින් සමාජයට අනාවරණය විය යුතු දේ අනාවරණය වෙනවා නම් ඒ ගැනත් අපිට හිතන්න වෙනවා. කෙනෙකුගේ ලිංගික ජීවිතය අපිට අදාල වෙන්නේ නෑ. හැබැයි කිසියම් අයෙක් අධිකරණ කටයුත්තකට බලපෑම් කරනවා නම් ඒවා සමාජයට අනාවරණය විය යුතුයි.

එක් අයෙක් දෙන්නෙක් අතර කරන සාකච්ඡාවක් ඇතැම් පද්ධතීන්ට හානියක් වන ආකාරයට ප්‍රසිද්ධියට පත් වෙනවා. දුරකතන සංවාද භාවිතා කරගෙන අපරාධ යුක්තිය පසිදලීමේ පද්ධතියට පහර දෙනවා නම් ඒකට සමාජය තුළ එයට විරුද්ධව ප්‍රතිචාරයක් තිබිය යුතුයි.  දුරකතන සංවාද ප්‍රසිද්ධියට පත් කිරීමේදී තෝරා ගත් දුරකතන සංවාද පමණක් ප්‍රසිද්ධියට පත් කරනවාද කියලා අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම තමයි මේ වන විට ලබාදී ඇති නඩු තීන්දුවලට පහර දෙනවා නම් ඒවා නැවැත්විය යුතුයි. එක්තරා විනිසුරුවරියක් සම්බන්ධයෙන් පාරේ පෝස්ටර් ගහලා තියෙනවා. ඒවාට අපි කොතරම් ඉඩ ලබාදිය යුතුද කියන ප්‍රශ්ණය අපි හමුවේ තිබෙනවා. කිසියම් විනිසුරුවරියක් වැරදි තීන්දුවක් ලබාදී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒවගේම තමයි තීන්දුවක් ලබාදී ඇති නඩුවක් නැවත විවෘත කිරිමට අවශ්‍ය නම් ඒ සදහාත් ක්‍රමවේදයක් අධිකරණ පද්ධතිය තුළ තිබෙනවා. ඒ ක්‍රමය භාවිතා නොකරන සමස්ත විනිසුරුවරුන් විවේචනය කරනවා නම්, පහර දෙනවා නම් සමාජයට වෙන බලපෑම ගැන විමසිය යුතුයි.

අධිකරණය සම්බන්ධයෙන්  විවේචන තිබෙනවා නම් ඒවා නිවරද කළ යුතුයි. හඩ පට දෙක තුනක් එළියට දැමීමෙන්, රටේ ඉන්න සියලුම විනිසුරුවරුන්ට චෝදනා කරන්න බෑ. වැරදි කරන විනිසුරුවරු, නීතීඥයින්ට විරුද්ධව පියවර ගත යුතුයි. එසේ කියා හඩ පට දෙක තුනක් අරගෙන දැන් දීලා තියෙන නඩු තීන්දු වැරදියි, විනිසුරුවරුන් වැරදියි කියලා කියන්න බෑ. වැරදි කරපු අය ඉන්නවා නම් ඒ අයට විරුද්ධව පියවර ගැනීමට අධිකරණය විවෘත විය යුතුයි. 

පවතින නඩුවක් සම්බන්ධයෙන් විනිසුරුවරයෙක්ට කතා කිරීම වැරදියි. ඒ නඩුව ගැන යමක් කතා කිරිමට අවශ්‍ය  නම් අධිකරණයේදී ඒ ගැන කතා කරන එක තමයි කළ යුතු වන්නේ. තමන් අහන පවතින නඩුවක් ගැන තවත් අයෙක් සමග කතා කිරීම වැරදියි. ඒ වගේම නඩුවක පාර්ශවකරුවෙක්ටවත් නඩුවක් විභාග වෙමින් තිබියදී විනිසුරුවරයෙක් සමග ඒ ගැන කතා කිරීමත් වැරදියි. විනිසුරුවරු තමන් අසන නඩු ගැන පිටස්තර අය සමග  කතා නොකර සිටීම තමයි ප්‍රඥාගෝචර තත්වය වන්නේ.  අපි නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන කාලයේදී ලැබුණ උපදෙස වන්නේ තමන් කරන ෆයිල් එකක් සම්බන්ධයෙන් කිසිම කෙනෙක් සමග සාකච්ඡා කරන්න එපා කියන එකයි. 

සමහර සාකච්ඡාවලදී සමස්ත සාකච්ඡාවම තේරුම් ගත යුතුයි. පටිගත කළ බව කියන ඇතැම් අයට තමන්ගේ පාර්ශවයෙන් පැහැදිළි කිරිමක් කිරීමට සමාජ මාධ්‍ය හෝ පොදු මාධ්‍ය තුළින් අවස්ථාවක් ලබාදී නැහැ. මේවා වාර්තා කරන්නේ ඒකපාර්ශවිකවයි. 

රන්ජන් රාමනායකගේ දුරකතන සංවාද ප්‍රසිද්ධියට පත් වුනේ කොහොමද කියන ප්‍රශ්ණ තිබෙනවා. මේවා පරීක්ෂණ පවත්වන නිලධාරීන් අතින් මාධ්‍යයට ලැබුණාද, නැතිනම් ඒවා පරීක්ෂණ කණ්ඩායම්වලට ලැබීමට පෙර තුන්වැනි පාර්ශවයක් අතට පත්වෙලා ඒවා ප්‍රසිද්ධ කරනවාද කියන ප්‍රශ්ණය තිබෙනවා. අවශ්‍ය නම් අධිකරණයට මේ හඩ පට විකාශය කිරීම නතර කිරීමට නියෝගයක් ලබාදිය හැකියි. අධිකරණයෙන් වාරණයක් කරනවාට වඩා මාධ්‍ය විසින් සදාචාරාත්මක සීමාවන් බලලා කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. 

මහාචාර්ය රොහාන් සමරජීව මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

කිසියම් පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවන දුරකතන සංවාදයක් තුන්වැනි පාර්ශවයකට ලබාගැනීමට නොහැකි වන  ප්‍රතිපාදන විදුලි සංදේශ පනතේ තිබෙනවා. නමුත් රංජන් රාමනායක දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නෑ. මෙම දුරකතන සංවාදවල තිබෙන දේ ද පටිගත කළේ, මේ පටිගත කළ දේ සංවාදයට සම්බන්ධ පාර්ශව දෙකට හැර තුන්වෙනි පාර්ශවකට ලබාදෙන්න පුලුවන්ද කියන දේ තිබෙනවා. නමුත් මේවා විකාශය කරන ආයතන කියන්නේ තමන් විකාශය කරන්නේ දුරකතන සංවාද නෙමෙයි, සී.ඩී. තැටියක තිබෙන දේ කියලා කියන්න පුලුවන්.

මම සමග සම්මුඛ සාකච්ඡා පවත්වන මාධ්‍යවේදීන් හෝ ශිෂ්‍යයින් පැමිණි විට සාකච්ඡාව රෙකෝඩ් කරන්නද කියලා අහනවා. මේක ආචාරධාර්මික තත්වයක්. පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන විට සමහර දේවල් ඔ්ෆ් ද රෙකෝඩ් කියලා කියනවා. එහෙම කියන්නේ ඒ දේ රෙකෝඩ් කරන්න එපා කියලයි. එතැනදී නම් රෙකෝඩ් කිරීම පිළිබද ප්‍රශ්ණයක් මතුවෙන්නේ නෑ. 

රන්ජන් රාමනායකගේ දුරකතන සංවාද ලබාගැනීමට නම් මහේස්‍රාත්වරයෙක්ගේ අවසරය ලබාගත යුතුයි. වරෙන්තුව ලබාගැනීමට යාමේදී නිශ්චිතව ලබාගන්නා නඩු භාණ්ඩ ගැන දැනුවත් කළ යුතුයි. නමුත් රන්ජන් රාමනායකගේ හඩ පට නඩු භාණ්ඩද කියන ප්‍රශ්ණය තිබෙනවා. 

දුරකතන සංවාද වගේම වීඩියෝ ගැනත් අවධානය යොමු කිරීමට අපිට සිදුවෙනවා. තවත් අයෙක්ට හානියක් වන වීඩියෝ තබාගැනීම සම්බන්ධයෙන් ලංකාවේ නීති කෙටුම්පත් තිබෙනවා. නමුත් එවා ක්‍රියාත්මක වෙලා නෑ.

රන්ජන් රාමනායකගේ දුරකතන සංවාද එක්ක අධිකරණය ගැනත් අවධානය‌ යොමුවෙනවා. අධිකරණ විනිසුරුවරුන්ට ඉහළ යාමට තිබෙන අවස්ථාවන් ගැන කතා කරනවා. හැම ආයතනයකම ඉහළට යන්න යන්න තිබෙන්නේ පිරමීඩාකාර තත්වයක්. ඉහළට යන්න යන්න අවස්ථාවන් අඩුවෙනවා. හමුදාව වගේ ආයතනවල එක තනතුරක සිටිය හැකි කාල සීමාව ගැන සීමාවන් දාලා තියෙන්නේ මේ නිසයි. විශ්ව  විද්‍යාලවල උපකුලපතිකමක් ගන්න දේවාලවල කපුවන්ගෙන්, මහනායක හාමුදුරුවන්ගෙන් ලියුම් අරගෙන එනවා. කොළඹ මහ දිසාපති වෙන්නත් මේ වගේ ලියුම් අරගෙන එනවා. වෘත්තිකභාවය තබාගෙන සිටින පුද්ගලයින් තමන්ට ලැබිය යුතු දේ ලැබෙනකම් බලාගෙන ඉන්නවා. එවිට වටේ ඉන්න අය ඇවිත් අරයගෙන් ලියුමක් අරගෙන එන්න, මෙයාගෙන් ලියුමක් අරගෙන එන්න කියනවා. එතකොට ඒ පුද්ගලයාත් අර වලටම වැටෙනවා. මේක අධිකරණයට පමණක් සීමාවූ තත්වයක් නෙමෙයි. 

රූපවාහිනී මාධ්‍යවේදී සංඛ අමර්ජිත් මහතා අදහස් දක්වමින් මෙසේ සදහන් කළේය

ආගමික කරුණු සම්බන්ධයෙන් තිබෙන දුරකතන සංවාද ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කළා. දෙන්නෙක් අතර ආගමික කැළඹීමක් ඇතිවන සංවාදයක් කරනවාට වඩා ලක්ෂ ගණනකට ඒවා සන්නිවේදනය කරන එක වැරදියි. නමුත් මා නියෝජනය කරන මාධ්‍ය වාර්ගික සිත් රිදීම් ඇතිවන සංවාද ප්‍රචාරය කරන්නේ නැහැ. මේ හඩ පට ප්‍රචාරය නොකර ඉන්නේ ඇයි කියන එක තමයි මම අහන්නේ

පුවත්පත් කර්තෘ මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. 

කාන්තාවකට මුලින්ම චරිත ඝාතනයට තමයි ලක්වන්නේ. හඩපට නාටකයේදී මේ තත්වය අපිට දැකගන්න පුලුවන්. කාන්තාවක් හා පිරිමියෙක් අතර වන පුද්ගලික සංවාදයක් සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ කුණු රසයක්ල බාදීමටනේ. එහෙම නැතිව සදාචාර සම්පන්න සමාජයක්‌ ගොඩ නැගීමට නම් මේ වගේ‌ දේවල් ප්‍රසිද්ධ කරලා වැඩක් නැහැ. මේ හඩ පට නාටකයේදී ප්‍රසිද්ධ කළ  පුද්ගලික දුරකතන සංවාද  වගේ සංවාද ඔ්න තරම් තමන්ගේ හිතවතුන් සමග කරලා ඇති.  ඒ නිසා මේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමන් මේ සංවාදයට සම්බන්ධවෙලා සිටියාය කියලා හිතලා කටයුතු කළ යුතුයි.

අපි තවත් සතියක් දෙකක් හඩ පට අහලා වින්දනයක් ලබාගනීවි. අපි රෙකෝඩිං අහන මාධ්‍යයක් වෙනුවට සමාජය වෙනුවෙන් දෙයක් කරන සමාජයක් බවට පත් කළ යුතුයි. මම හඩ පට ගැන මගේ කර්තෘමණ්ඩලය සමග සාකච්ඡා කරන විට ඔවුන්ගේ අදහස වුනේ මේ හඩ පටවල තිබෙන දේ සම්බන්ධයෙන් වාර්තා කළ යුත්තේ සමාජයට වැදගත් වෙන දේ පමණක් බවයි. අධිකරණය සම්බන්ධයෙන් ජනතාවට ඇති විශ්වාස බිදෙන්නේ කොහොමද, කොහොමද ඒක ගොඩනගන්නේ. රහස්‍යභාවය ගොඩනගන්නේ කොහොමද, පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වන නීති ගෙන ආ යුතුද යන්න ගැන කතා කළ යුතුයි.

දුරකතන සේවා සපයන සමාගම් සතුව දුරකතන සංවාද ගැන දත්ත තිබෙනවා. ඒවා එළියට එන්නේ අධිකරණ නියෝගයක් ලැබුණොත් පමණයි. නමුත් දැන් මේ දුරකතකන සංවාද එළියට ඇවිත් තියෙන්නේ ඒ වගේ අධිකරණ නියෝගයක් අනුව නොවෙයි. 

දැන් මේ දුරකතන සංවාදවලින් විනිසුරුවරියක් තමන්ගේ දුක් ගැනවිල්ලක් කියනවා. අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරියක්ගේ දුක් ගැනවිල්ලක් කියන්න තැනක් නැද්ද? තිබුණත් ඒකෙන් විසදුමක් ලැබෙන්නේ නැද්ද? ඒ නිසානේ දේශපාලඥයෙක් ළග හඩ වැටීමට සිදුවෙලා තිනේනේ. සමාජයක් ලෙස මාධ්‍ය ඉදිරියට ගෙන යා යුත්තේ මේවා නොවේද? නීතිගරුක, විනයගරුක සමාජයක් අවශ්‍ය නම් මේ ප්‍රශ්ණ ඉස්මතු කරලා ගත යුතු නැද්ද?